සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

3. දසබල වර්ගය

2. දසබල සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, දසබලයකින් යුක්තවූද, සිව් වැදෑරුම් විශාරදභාවයකින් යුක්තවූද තථාගතතෙම ශ්‍රෙෂ්ඨස්ථානයට පැමිණේ. පිරිසෙහි සිංහනාද කෙරෙයි. උතුම්වූ ධර්මචක්‍රය පවත්වයි. (කෙසේද?) මේ රූපය, මේ රූපයන්ගේ හේතුවය, මේ රූපයන්ගේ නැතිවීමය. මේ වේදනාවය, මේ වේදනාවේ හේතුවය, මේ වේදනාවගේ නැතිවීමය. මේ සංඥාවය, මේ සංඥාවගේ හේතුවය, මේ සංඥාවගේ නැතිවීමය. මේ සංස්කාරයෝය, මේ සංස්කාරයන්ගේ හේතුවය, මේ සංස්කාරයන්ගේ නැතිවීමය. මේ විඤ්ඤාණයය, මේ විඤ්ඤාණයාගේ හේතුවය, මේ විඤ්ඤාණයාගේ නැතිවීමය. මෙසේ මේ අවිජ්ජාදී ප්‍රත්‍යයන් ඇතිකල්හි, මේ සංස්කාරාදී ඵලය ඇතිවේ. මේ අවිජ්ජාදී ප්‍රත්‍යයන්ගේ ඉපදීමෙන් සංස්කාරාදී ඵල උපදී. මේ අවිජ්ජාදී ප්‍රත්‍යය නැතිකල්හි සංස්කාරාදී ඵල ඇති නොවේ. මේ අවිජ්ජාදී ප්‍රත්‍යයන්ගේ නැතිවීමෙන් මේ සංස්කාරාදී ඵල නැතිවේ.

“හේ මෙසේයි:- අවිජ්ජාව නිසා සංස්කාරයෝ ඇතිවෙත්. සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවෙත්. විඤ්ඤාණය නිසා නාම රූපයන් ඇතිවෙත්. නාම රූප නිසා සළායතන ඇතිවෙත්. සළායතනයන් නිසා ස්පර්ශ ඇති වෙත්. ස්පර්ශ නිසා වේදනාව ඇතිවෙත්. වේදනාව නිසා තණ්හාව ඇතිවෙත්. තණ්හාව නිසා උපාදානය ඇතිවෙත්. උපාදානය නිසා භවය ඇතිවෙත්. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවෙත්. ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ ද ඇතිවෙත්. මෙසේ මේ සියලු එකම දුක්ගොඩ ඇතිවේ. අවිජ්ජාව නැතිකිරීමෙන් සංස්කාරයන්ගේ නැතිවීම වෙයි. සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ. විඤ්ඤාණය නැතිවීමෙන් නාම රූප නැතිවේ. නාම රූපයන්ගේ නැතිවීමෙන් සළායතන නැතිවේ. සළායතනයන්ගේ නැතිවීමෙන් ස්පර්ශ නැතිවේ. ස්පර්ශයන්ගේ නැතිවීමෙන් වේදනාව නැතිවේ. වේදනාවන්ගේ නැතිවීමෙන් තණ්හාව නැතිවේ. තණ්හාවන්ගේ නැතිවීමෙන් උපාදානය නැතිවේ. උපාදානයන්ගේ නැතිවීමෙන් භවය නැතිවේ. භවයන්ගේ නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවේ. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු දුක්ගොඩ නැතිවේය කියායි.

“මහණෙනි, මා විසින් මෙසේ ධර්මය මනාකොට කියනලදී. වසා නොතබනලදී. වැසුම් හරිනලදී. දල්වන ලදී. සුන්-බුන්-පිරිද්දීම් සහ ගැට නැතිකරන ලදී. මහණෙනි, මෙසේ මා විසින් මනාකොට කියනලද, වසා නොතබනලද, වැසුම් හරිනලද, දල්වනලද, සුන්-බුන්-පිරිද්දීම් සහ ගැට නැතිකරනලද ධර්මයෙහි, ශ්‍රද්ධාවෙන් (ශාසනයෙහි) පැවිදිවූ කුල දරුවා විසින් කැමැති සේ ශරීරයෙහි සමද, නහරද, ඇටද, ඉතිරි වේවා! මස් හා ලේ වියලේවා! පුරුෂ ශක්තියෙන්, පුරුෂ වීර්යයෙන්, පුරුෂ පරාක්‍රමයෙන් පැමිණිය යුතු යමක් වේද, එයට නොපැමිණ, වීර්යය අත්හැරීමක් නොවන්නේ යයි වීර්යය පටන් ගැනීම සුදුසුමය. මහණෙනි, කුසීත පුද්ගලතෙම පවිටුවූ, අකුශල ධර්මයන්ගෙන් ගැවසී ගත්තේ දුකින් වසයි. මහත්වූ අර්ථයෙන්ද (රහත් බැවින්ද) පිරිහෙයි. මහණෙනි, පටන්ගන්නා ලද වීර්යය ඇත්තේ වනාහි පවිටුවූ අකුශල ධර්මයන්ගෙන් වෙන්වූයේ සැපසේ වාසය කෙරෙයි. මහත්වූ, අර්ථයද (රහත් බවද) සම්පූර්ණ කෙරෙයි.

“මහණෙනි, හීනවූ ශ්‍රද්ධාදියෙන් අග්‍රවූ රහත් බවට නොපැමිණෙයි. අග්‍රවූ ශ්‍රද්ධාදියෙන් අග්‍රවූ රහත් බවට පැමිණෙයි. මහණෙනි, ප්‍රසන්නවූද, පිදියයුතුවූද, මේ බ්‍රහ්මචරියාව ශාස්තෲන්වහන්සේගේ සම්මුඛයෙහි වූයේය.

“මහණෙනි, ඒ නිසා නොපැමිණි ධර්මයන්ට පැමිණීම පිණිස, අවබෝධ නොකළ ධර්මය අවබෝධ කිරීම පිණිස ප්‍රත්‍යක්ෂ නොකළ ධර්මය ප්‍රත්‍යක්ෂකිරීම පිණිස, වීර්ය ආරම්භ කරව්. මෙසේ (වනාහි) අපගේ මේ පැවිද්ද වඳනොවන්නේය. ඵල සහිත වන්නේය. වැඩීම් සහිත වන්නේය. අපි යමෙකුන්ගේ චීවර, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පසය සහ බෙහෙත් පිරිකර වළඳමුද, ඔවුන්ගේ ඒ සත්කාරයෝ අප කෙරෙහි මහත්ඵල මහානිසංශ වන්නෝය. මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි. මහණෙනි, තමාගේ අර්ථය බලාපොරොත්තු වන්නාහු විසින්ද අප්‍රමාදයෙන් යුක්තවන්නට සුදුසුමය. මහණෙනි, පරාර්ථය බලාපොරොත්තු වන්නාහු විසින්ද අප්‍රමාදයෙන් යුක්ත වන්නට සුදුසුමය. මහණෙනි, උභයාර්ථය (ආත්මාර්ථය හා පරාර්ථය) බලාපොරොත්තු වන්නාහු විසින්ද අප්‍රමාදයෙන් යුක්ත වන්නට සුදුසුමය යනුයි.