සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

3. දසබල වර්ගය

3. උපනිසා සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, මම දන්නහුගේම දක්නහුගේම ආශ්‍රවයන් ක්ෂයකිරීම කියමි. නොදන්නහුගේ නොදක්නහුගේ ආශ්‍රවයන් ක්ෂය කිරීම නොකියමි. මහණෙනි, කුමක් දන්නහුගේ කුමක් දක්නහුගේ ආශ්‍රවයන් ක්ෂයවේද? රූපය මෙසේය. රූපයේ ඇතිවීම මෙසේය. රූපයාගේ නැතිවීම මෙසේය. වේදනාව මෙසේය. වේදනාවේ ඇතිවීම මෙසේය. වේදනාවේ නැතිවීම මෙසේය. සංඥාව මෙසේය. සංඥාවේ ඇතිවීම මෙසේය. සංඥාවේ නැතිවීම මෙසේය. විඤ්ඤාණය මෙසේය. විඤ්ඤාණයේ ඇතිවීම මෙසේය. විඤ්ඤාණයේ නැතිවීම මෙසේය. කියායි. මහණෙනි, මෙසේ වනාහි දන්නහුගේ මෙසේ දක්නහුගේ ආශ්‍රවයන්ගේ ක්ෂයවීම වෙයි.

“මහණෙනි, යම් හේතුවකින් ඒ ආශ්‍රව ක්ෂය නම් අර්හත් ඵලය ලත් කල්හි ඒ පිළිබඳ ප්‍රත්‍යවෙක්ෂා (මෙනෙහි කරන) ඥානය ඇතිවන්නේය. එයද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, ප්‍රත්‍යවෙක්ෂා ඥානයට හේතු කවරේද? අර්හත් ඵලයයි කියයුතු වන්නේය. මහණෙනි, මම අර්හත්ඵලයද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, අර්හත් ඵල හෙතු කවරේද?

රහත් මාර්ගයයි කියයුතු වන්නේය. මහණෙනි, මම අර්හත් මාර්ගයද හේතු සහිතයි කියමි. හේතු රහිතයි නොකියමි.

“මහණෙනි, අර්හත් මාර්ගයට හේතු කවරේද? කලකිරීමේ නුවණයයි කියයුතු වන්නේය. මහණෙනි, මම කලකිරීමේ නුවණද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි; මහණෙනි, කලකිරීමේ ඤාණයට හේතු කවරේද? තත්වූ පරිදි නුවණින් දැකීමයයි කියයුතු වන්නේය. මහණෙනි, මම තත්වූ පරිදි නුවණින් දැකීමද හේතු සහිත යයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, තත්වූ පරිදි නුවණින් දැකීමට හේතු කවරේද? සමාධියයි කිය යුතු වන්නේය. මහණෙනි, මම සමාධියද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, සමාධියට හේතු කවරේද? සැපයයි කියයුතු වන්නේය. මහණෙනි, මම සැපයද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, සැපයට හේතු කවරේද? පීඩාවන්ගේ සංසිඳීම යයි කියයුතු වන්නේය. මහණෙනි, මම පීඩාවන්ගේ සංසිඳීමද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නො කියමි. මහණෙනි, පීඩාවන්ගේ සංසිඳීමට කරුණු කවරේද? අධික ප්‍රීතියයි කියයුතු වන්නේය. මහණෙනි, මම අධික ප්‍රීතියද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, අධික ප්‍රීතියට හේතු කවරේද? දුර්වල ප්‍රීතියයි කියයුතු වන්නේය. මහණෙනි, මම දුර්වල ප්‍රීතියද හේතු සහිත යයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, දුර්වල ප්‍රීතියට හේතු කවරේද? ශ්‍රද්ධාවයයි කිය යුතු වන්නේය. මහණෙනි, මම ශ්‍රද්ධාවද හේතු සහිතයයි කියමි. හේතු රහිත යයි නොකියමි. මහණෙනි, ශ්‍රද්ධාවට හේතු කවරේද? දුකයි කිය යුතු වන්නේය. මහණෙනි, මම දුකද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, දුකට හේතු කවරේද? ඉපදීමයයි කියයුතු වන්නේය. මහණෙනි, මම ඉපදීමද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, ඉපදීමට හේතු කවරේද? (කර්ම) භවයයි කිය යුතු වන්නේය. මහණෙනි, මම කර්ම භවයද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, කර්ම භවයට හේතු කවරේද? උපාදානයයි කිය යුතු වන්නේය. මහණෙනි, මම උපාදානයද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, උපාදානයට හේතු කවරේද? තණ්හාව යයි කියයුතු වන්නේය. මහණෙනි, මම තණ්හාවද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, තණ්හාවට හේතු කවරේද? වේදනාවයයි කිය යුතු වන්නේය. මහණෙනි, මම වේදනාවද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි වේදනාවට හේතු කවරේද? ස්පර්ශයයි කියයුතු වන්නේය. මහණෙනි, මම ස්පර්ශයද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, ස්පර්ශයට හේතු කවරේද? සළායතනයයි කියයුතු වන්නේය. මහණෙනි, මම සළායතනයද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි සළායතනයට හේතු කවරේද? නාම රූපයයි කියයුතු වන්නේය. මහණෙනි, මම නාම රූපයද හේතු සහිතයයි කියමි හේතු රහිතයි නොකියමි. මහණෙනි, නාමරූපයට හේතු කවරේද? විඤ්ඤාණයි කිය යුතු වන්නේය. මහණෙනි, මම විඤ්ඤාණයද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, විඤ්ඤාණයට හේතු කවරේද? සංස්කාරයි කිය යුතු වන්නේය. මහණෙනි, මම සංස්කාරයන්ද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, සංස්කාරයන්ට හේතු කවරේද? අවිජ්ජාවයයි කිය යුතු වන්නේය.

“මහණෙනි, මෙසේ වනාහි අවිජ්ජාව නිසා සංස්කාරයන්ද සංස්කාරයන් නිසා විඤ්ඤාණයද, විඤ්ඤාණය නිසා නාමරූපද, නාමරූප නිසා සළායතනද, සළායතන නිසා ස්පර්ශයද, ස්පර්ශය නිසා වේදනාවද, වේදනාව නිසා තණ්හාවද, තණ්හාව නිසා උපාදානයද, උපාදානය නිසා (කර්ම) භවයද, භවය නිසා ජාතියද (ඉපදීම) ජාතිය නිසා දුකද, දුක නිසා ශ්‍රද්ධාවද, ශ්‍රද්ධාව නිසා දුර්වල ප්‍රීතියද, දුර්වල ප්‍රීතිය නිසා ප්‍රබල ප්‍රීතියද, ප්‍රබල ප්‍රීතිය නිසා පීඩාවන්ගේ සංසිඳීමද (පටිපස්සද්ධිය) පීඩාවන්ගේ සංසිඳීම නිසා (ධ්‍යානයට පූර්වභාගවූ) සැපයද, (ධ්‍යානයට පූර්වභාගවූ) සැපය නිසා පාදක ධ්‍යාන සමාධියද, (පාදකධ්‍යාන) සමාධිය නිසා (යථාභූත ඤාණ දර්ශනය) ඇති තතු නුවණින් දැකීමද, ඇතිතතු නුවණින් දැකීම නිසා කලකිරෙන නුවණ (නිර්වේද ඥානය) ද, කලකිරෙන නුවණ නිසා රහත් මාර්ගයද, රහත් මාර්ගය නිසා අර්හත් පලයද, අර්හත් ඵල නිසා ප්‍රත්‍යවෙක්ෂා ඥානය (මාර්ගඵල නිර්වාණ පහකළ කෙලෙස් මෙනෙහිකරන ඥානය) වෙයි.

“මහණෙනි, යම්සේ පර්වතයාගේ මත්තෙහි මහත් ධාරාවෙන් යුත් වැසි වසින කල, ඒ දිය ක්‍රමයෙන් පහත්ව පවත්නාවූ, පර්වත බෑවුම් නියඟට පැලුනු පැළිවලන් සහ කුඩා ඇළවල් පිරෙයිද, පර්වත, පර්වත බෑවුම්, නියඟට පැලුනු පැළිවලන් සහ කුඩා ඇළවල් පිරීම නිසා, කුඩා වළවල් පිරෙයිද, කුඩා වළවල් පිරීම නිසා මහ වළවල් පිරෙයිද, මහ වළවල් පිරීම නිසා කුඩා කුඩා ගංගා පිරෙයිද, කුඩා කුඩා ගංගා පිරීම නිසා මහ ගංගා පිරෙයිද, මහ ගංගා පිරීමෙන් මහ මූද පිරෙයිද, මහණෙනි, මෙසේම අවිජ්ජාව නිසා සංස්කාරයද, සංස්කාර නිසා විඤ්ඤාණයද, විඤ්ඤාණ නිසා නාමරූපද, නාමරූප නිසා සළායතනයන්ද සළායතනයන් නිසා ස්පර්ශයද, ස්පර්ශය නිසා වේදනාවද, වේදනාව නිසා තණ්හාවද, තණ්හාව නිසා උපාදානයද, උපාදානය නිසා භවයද, භවය නිසා ජාතියද, ජාතිය නිසා දුකද, දුක නිසා ශ්‍රද්ධාවද, ශ්‍රද්ධාව නිසා දුර්වල ප්‍රීතියද, දුර්වල ප්‍රීතිය නිසා ප්‍රබල ප්‍රීතියද, ප්‍රබල ප්‍රීතිය නිසා පීඩාවන්ගේ සංසිඳීමද, පීඩාවන්ගේ සංසිඳීම නිසා සැපයද, සැපය නිසා සමාධියද (සිතේ එකමුතු කමද) සමාධිය නිසා ඇතිතතු දැකීමේ නුවණද, ඇතිතතු දැකීමේ නුවණ නිසා කලකිරීමේ නුවණද, කලකිරීමේ නුවණ නිසා විරාගයද (මාර්ගයද) විරාගය නිසා විමුක්තියද, (රහත් බවද) විමුක්තිය නිසා (ආශ්‍රවයන් ක්ෂය කළ කල්හි ඇතිවෙන) ප්‍රත්‍යවෙක්ෂා ඥානයද ඇතිවෙයි.