සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

3. දසබල වර්ගය

4. අඤ්ඤතිත්ථිය සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ “වේළුවනාරාමයෙහි” වැඩ වාසය කරන සේක. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ පෙරවරු කාලයෙහි ඇඳ පාත්‍ර සිවුරු ගෙන රජගහනුවරට පිඬු පිණිස වැඩිසේක. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මේ සිත ඇති විය. ‘රජගහනුවර පිඬු පිණිස යාමට තවම උදෑසන වැඩිය. ඒ නිසා මම අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ගේ ආරාමය යම් තැනකද එතන්හි පැමිණෙම් නම් හොඳය’ කියායි.

ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ, ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටුවූයේය. සතුටුවිය යුතුවූත්, සිහි කටයුතුවූත් කථාව කොට නිමවා, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්ට ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙය කීවාහුය.

“ඇවැත්නි, ශාරිපුත්‍රය, දුක තමා විසින් කරන ලද්දේයයි පණවන, කර්මවාද ඇති සමහර මහණ බමුණෝ වෙති. ඇවැත්, ශාරිපුත්‍රය, දුක අනුන් විසින් කරන ලද්දේයයි පණවන, කර්මවාද ඇති සමහර මහණ බමුණෝ වෙති. ඇවැත්, ශාරිපුත්‍රය, දුක තමා විසින්ද, අනුන් විසින්ද කරන ලද්දේයයි පණවන, කර්මවාද ඇති සමහර මහණ බමුණෝ වෙති. ඇවැත්, ශාරිපුත්‍රය, දුක තමා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව ඉබේ ඇතිවූයේයයි පණවන, කර්මවාද ඇති සමහර මහණ බමුණෝ වෙති. ඇවැත්, ශාරිපුත්‍රය, මේ සතරවාදයන්හිදී, ගෞතම මහණතෙම කිනම් වාද ඇත්තේද? කුමක් කියන්නේද? කෙසේ විසඳනු ලබන්නාවූ අපි ශ්‍රමණ ගෞතමයන් කියන ලද්ද කිව්වෝ වෙමුද, ශ්‍රමණ ගෞතමයන් බොරුවෙන් යටකොට නොකියමුද, ධර්මයට අනුව කියමුද, කිනම් ධාර්මිකවූ වාදයක් (නුවණ ඇතියන් විසින්) ගැරහිය යුතු බවට නොපැමිණේද?” කියායි.

“ඇවැත්නි, ‘දුක වනාහි හේතූන් නිසා ඇතිවූයේයයි’ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. කුමක් නිසා ඇතිවීද? ස්පර්ශය නිසා ඇතිවිය. මෙසේ මෙය කියන්නේ භාග්‍යවතුන් වහන්සේ කියන ලද්ද කියන්නේද වන්නේය. භාග්‍යවතුන් වහන්සේ බොරුවෙන් යටකොට නොකියන්නේය. කිසියම් ධාර්මිකවූ, වාදයක් ධර්මය අනුව කියන්නේය (නුවණ ඇතියන් විසින්) ගැරහිය යුතු බවට නොපැමිණෙන්නේය.

“ඇවැත්නි, ඒ සතරවාදයන්හිදී, කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් කරන ලද්දේ යයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇතිවේ. කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ දුක අනුන් විසින් කරණ ලද්දේයයි පණවත්ද? එයද ස්පර්ශය නිසා ඇතිවේ. කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින්ද, අනුන් විසින්ද කරන ලද්දේයයි පණවත්ද එයද ස්පර්ශය නිසා ඇති වේ. කර්මවාදී වූ යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව ඉබේ ඇතිවූයේ යයි පණවත්ද එයද ස්පර්ශය නිසා ඇතිවේ.

“ඇවැත්නි, ඒ සතරවාදයන්හිදී, කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් කරන ලද්දේ යයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ. කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ දුක අනුන් විසින් කරන ලද්දේ යයි පණවත්ද ඔවුහුද ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ. කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින්ද, අනුන් විසින්ද කරන ලද්දේයයි පණවත්ද, ඔවුහුද වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ දුක තමා විසිනුත් නොව අනුන් විසිනුත් නොව ඉබේ ඇතිවූයේ යයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ.”

ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්ගේ ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන් හා සමඟවූ මේ කථා සල්ලාපය ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම ඇසුවේය. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම රජගහනුවර පිඬු පිණිස වැඩ සවස පිණ්ඩපාතයෙන් වැළකුණේ භාග්‍යවතුන් වන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම වනාහි යම්තාක් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්ගේ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන් හා සමග කථා සල්ලාපයක් වූයේද ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැල කළේය.

“සාදු! සාදු!! ආනන්දය, එය යම්සේ මනාකොට ප්‍රකාශ කරන්නේ නම් ඒ ආකාරයෙන් ශාරීපුත්‍ර තෙම ප්‍රකාශ කරන්නේය. ආනන්දය, දුක වනාහි හේතූන් නිසා උපන්නේ යයි මා විසින් කියන ලදී. කුමක් නිසාද? ස්පර්ශය නිසා යයි මෙසේ මෙය කියන්නේ මා කියන ලද්ද කියන්නේද වන්නේය. මා බොරුවෙන් යටකොට නොකියන්නේය. ධර්මය අනුව කියන්නේය. කිසියම් ධාර්මිකවූ වාදයක් (නුවණ ඇතියන් විසින්) ගැරහිය යුතු බවට නොපැමිණෙන්නේය. ආනන්දය, එහිදී, කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් කරන ලද්දේයයි පණවත්ද, එයත් ස්පර්ශය නිසා ඇතිවේ. කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ දුක අනුන් විසින් කරන ලද්දේ යයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇතිවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින්ද අනුන් විසින්ද කරන ලද්දේයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇතිවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව, ඉබේ ඇතිවූයේයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇතිවේ. ආනන්දය, ඒ සතරවාදයන්හිදී, කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් කරන ලද්දේයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ දුක අනුන් විසින් කරන ලද්දේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින්ද අනුන් විසින්ද කරන ලද්දේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ දුක මා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව ඉබේ ඇතිවූයේ යයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ.

“ආනන්දය, මම එක් කාලයක මේ රජගහනුවර සමීපයෙහිවූ, “කලන්දක නිවාප” නම් ලත් වෙළුවනාරාමයෙහි වාසය කරමි. ආනන්දය, ඉක්බිති මම වනාහි පෙරවරු කාලයෙහි හැඳ පාත්‍ර සිවුරු ගෙන, රජගහනුවරට පිඬු සිඟා ගියෙමි. ආනන්දය, ඒ මට මේ අදහස ඇතිවිය. ‘තවම රජගහනුවරට පිඬු පිණිස යාමට උදෑසන වැඩිය. (ඒනිසා) මම අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ගේ ආරාමය යම් තැනෙක්හිද, එතැන්හි පැමිණෙම් නම් හොඳය’ කියායි. ආනන්දය, ඉක්බිති මම අන්‍යතීර්ථක පරිබ්‍රාජකයින්ගේ ආරාමය යම් තැනෙක්හිද එතැනට පැමිණියෙමි. පැමිණ, ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටු වූයෙමි. සතුටු විය යුතුවූත්, සිහි කටයුතුවූත්, කථාව කොට අවසානකර, එක්පැත්තක හුන්නෙමි. ආනන්දය, එක් පැත්තක හුන්නාවූ මට වනාහි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙය කීවාහුය.

“ඇවැත් ගෞතමයිනි, දුක තමා විසින් කරන ලද්දේ යයි පණවන කර්මවාදීවූ, ඇතැම් මහණ බමුණෝ වෙති. ඇවැත් ගෞතමයිනි දුක අනුන් විසින් කරන ලද්දේයි පණවන, කර්මවාදීවූ, ඇතැම් මහණ බමුණෝ වෙති. ඇවැත් ගෞතමයිනි, දුක තමන් විසින්ද, අනුන් විසින්ද, කරන ලද්දේයයි පණවන, කර්මවාදීවූ, ඇතැම් මහණ බමුණෝ වෙති. ඇවැත් ගෞතමයිනි, දුක තමා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව, ඉබේ ඇතිවූයේයි පණවන, කර්මවාදීවූ, ඇතැම් මහණ බමුණෝ වෙති. මේ සතර වාදයන්හිදී, අපේ ඇවැත් ගෞතමතෙම කිනම් වාද ඇත්තේද? කෙසේ පැහැදිලි කරන්නාවූ, අපි ඇවැත් ගෞතමයන් කියන ලද්දට අනුව කියන්නෝ වෙමුද, ඇවැත් ගෞතමයන් කෙසේ බොරුවෙන් යටකොට කියන්නෝ නොවෙමුද, ධර්මානුකූලව ධර්මය කෙසේ පැහැදිලි කරන්නෙමුද, (ඇවැත් ගෞතමයන්ගේ) කිසි ධාර්මිකවූ ප්‍රවෘත්තියක් (වාදානුපාතයක්) ගැරැහිය යුතු බවට නොපැමිණෙන්නේද,’ කියායි.

“ආනන්දය, මෙසේ කියනලද, ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට මම මෙසේ කීවෙමි. ඇවැත්නි, මා විසින් දුක (පටිච්ච සමුප්පන්නයයි) හේතූන් නිසා ඇතිවූයේයයි කියනලදී. කුමක් නිසාද? ස්පර්ශය නිසායයි මෙසේ කියන්නේ මා කියන හේතුව කොට ඇත්තේද? කුමක් ඉපදීම කොට ඇත්තේද? කුමක් පටන්ගැන්ම කොට ඇත්තේද?’ කියායි.

“ස්වාමීනි, මෙසේ අසනලද්දාවූ මම මෙසේ විස්තර කරන්නෙමි. ඇවැත්නි, ජරා මරණය වනාහි ඉපදීම නිදානකොට ඇත්තේය. ඉපදීම හේතුකොට ඇත්තේය. ඉපදීම හටගැනීම කොට ඇත්තේය, ඉපදීම පටන්ගැනීමකොට ඇත්තේය,’ කියායි. ස්වාමීනි, මෙසේ අසනලද්දාවූ මම මෙසේ විස්තර කරන්නෙමි.

“ඉදින් ස්වාමීනි මාගෙන් මෙසේ අසත්නම්:- ‘ඇවැත් ආනන්දය, ඉපදීම වනාහි කුමක් නිදානකොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් හටගැනීම්කොට ඇත්තේද? කුමක් පටන්ගැන්ම කොට ඇත්තේද?’ කියායි. ස්වාමීනි, මෙසේ අසන ලද්දාවූ මම මෙසේ විස්තර කරන්නෙමි. ඇවැත්නි, ජාතිය වනාහි භවය නිදානකොට ඇත්තේය. භවය හේතුකොට ඇත්තේය. භවය ඉපදීමකොට ඇත්තේය. භවය පටන්ගැන්මකොට ඇත්තේය.

“ස්වාමීනි, මෙසේ අසනලද්දාවූ මම මෙසේ විස්තර කරන්නෙමි. ඉදින් ස්වාමීනි, මාගෙන් මෙසේ අසත් නම්:- ‘ඇවැත් ආනන්දය, භවය වනාහි කුමක් නිදානකොට ඇත්තේද? කුමක් සමුදයකොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද?’ කියායි. ස්වාමීනි, මෙසේ අසන ලද්දාහු මම මෙසේ විස්තර කරන්නෙමි. ‘ඇවැත්නි, භවය වනාහි උපාදානය නිදානකොට ඇත්තේය. උපාදානය සමුදයකොට ඇත්තේය. උපාදානය ජාතිකොට ඇත්තේය. උපාදානය ප්‍රභවකොට ඇත්තේය.’ ස්වාමීනි, මෙසේ අසන ලද්දාහු මම මෙසේ විස්තර කරන්නෙමි.

“ඉදින් ස්වාමීනි, මාගෙන් මෙසේ අසත්නම්:- ‘ඇවැත් ආනන්දය, උපාදානය වනාහි කුමක් නිදානකොට ඇත්තේද? කුමක් සමුදයකොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද?’ කියායි. ස්වාමීනි, මෙසේ අසනලද්දාහු මම මෙසේ විස්තර කරන්නෙමි. ‘ඇවැත්නි, උපාදානය වනාහි තණ්හාව නිදානකොට ඇත්තේය, තණ්හාව සමුදයකොට ඇත්තේය. තණ්හාව ජාතිකොට ඇත්තේය. තණ්හාව ප්‍රභවකොට ඇත්තේය.’ ස්වාමීනි, මෙසේ අසනලද්දාහු මම මෙසේ විස්තර කරන්නෙමි.

“ඉදින් ස්වාමීනි, මාගෙන් මෙසේ අසත්නම්:- ‘ඇවැත් ආනන්දය, තණ්හාව වනාහි කුමක් නිදානකොට ඇත්තේද? කුමක් සමුදයකොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද?’ කියායි. ස්වාමීනි, මෙසේ අසනලද්දාහු මම මෙසේ විස්තර කරන්නෙමි. ‘ඇවැත්නි, තණ්හාව වනාහි වේදනාව නිදානකොට ඇත්තේය, වේදනාව සමුදයකොට ඇත්තේය. වේදනාව ජාතිකොට ඇත්තේය. වේදනාව ප්‍රභවකොට ඇත්තේය.’ ස්වාමීනි, මෙසේ අසනලද්දාහු මම මෙසේ විස්තර කරන්නෙමි.

“ඉදින් ස්වාමීනි, මාගෙන් මෙසේ අසත්නම්:- ‘ඇවැත් ආනන්දය, වේදනාව වනාහි කුමක් නිදානකොට ඇත්තේද? කුමක් සමුදයකොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද?’ කියායි. ස්වාමීනි, මෙසේ අසනලද්දාහු මම මෙසේ විස්තර කරන්නෙමි. ‘ඇවැත්නි, වේදනාව වනාහි ස්පර්ශය නිදානකොට ඇත්තේය, ස්පර්ශය සමුදයකොට ඇත්තේය. ස්පර්ශය ජාතිකොට ඇත්තේය. ස්පර්ශය ප්‍රභවකොට ඇත්තේය.’ ස්වාමීනි, මෙසේ අසනලද්දාහු මම මෙසේ විස්තර කරන්නෙමි.

“ඉදින් ස්වාමීනි, මාගෙන් මෙසේ අසත්නම්:- ‘ඇවැත් ආනන්දය, ස්පර්ශය වනාහි කුමක් නිදානකොට ඇත්තේද? කුමක් සමුදයකොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද?’ කියායි. ස්වාමීනි, මෙසේ අසනලද්දාහු මම මෙසේ විස්තර කරන්නෙමි. ‘ඇවැත්නි, ස්පර්ශය වනාහි සළායතනය නිදානකොට ඇත්තේය, සළායතනය සමුදයකොට ඇත්තේය. සළායතනය ජාතිකොට ඇත්තේය. සළායතනය ප්‍රභවකොට ඇත්තේය.’ ස්වාමීනි, මෙසේ අසනලද්දාහු මම මෙසේ විස්තර කරන්නෙමි.

“ඇවැත්නි, හය වැදෑරුම් ස්පර්ශායතනයන්ගේ සහමුලින් නැතිවීමෙන්ම ස්පර්ශය නැතිවේ. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවේ. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවේ. තණ්හා නැතිවීමෙන් ඉපදීම නැතිවේ. ඉපදීම නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ඉපදීම නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරාව සහ මරණයද, ශොකවීම්, හැඬීම් දුක්වීම්, දොම්නස් සහ වැළපීම් නැතිවෙත්. මෙසේ මේ සියලු එකම දුක්ගොඩ නැතිවේ. ස්වාමීනි, මෙසේ අසනලද්දාවූ මම මෙසේ විස්තර කරන්නෙමි.