සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

3. දසබල වර්ගය

5. භූමිජ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසළවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

ඉක්බිති ඇවැත් භූමිජතෙම සවස්කාලයෙහි විවේක ස්ථානයෙන් නැගීසිටියේ, ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරුන් යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරුන් හා සමග සතුටු වූයේය. සතුටු වියයුතු වූත්, සිහි කටයුතුවූත්, කථාවකොට අවසාන කර, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ඇවැත් භූමිජතෙම වනාහි ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරුන්හට මෙය කීයේය.

“ඇවැත් ශාරිපුත්‍රයෙනි, සැපදුක් තමා විසින් කරන ලද්දේයයි පණවන කර්මවාදීවූ, ඇතැම් මහණ බමුණෝ වෙති. ඇවැත් ශාරිපුත්‍රයෙනි, සැප දුක් අනුන් විසින් කරන ලද්දේයයි පණවන, කර්මවාදීවූ, ඇතැම් මහණ බමුණෝ වෙති. ඇවැත්නි, ශාරිපුත්‍රයිනි, සැප දුක් තමන් විසින්ද, අනුන් විසින්ද කරන ලද්දේයයි පණවන, කර්මවාදීවූ ඇතැම් මහණ බමුණෝ වෙති. ඇවැත් ශාරිපුත්‍රයිනි, සැප දුක් තමන් විසින් කරන ලද්දක් හෝ අනුන් විසින් කරන ලද්දක් හෝ නොව ඉබේ ඇති වූයේයයි පණවන, කර්මවාදීවූ, ඇතැම් මහණ බමුණෝ වෙති. ඇවැත් ශාරිපුත්‍රයිනි, මේ සිව්වාදයන්හිදී අපගේ භාග්‍යවත්තෙම කිනම් වාද ඇත්තේද? කුමක් කියන්නේද? කෙසේ පැහැදිළි කරන්නාවූ, අපි ඇවැත් ගෞතමයන් කියන ලද්දට අනුව කියන්නෝ වෙමුද, ඇවැත් ගෞතමයන් කෙසේ බොරුවෙන් යටකොට කියන්නේද නොවෙමුද, ධර්මානුකූලව ධර්මය කෙසේ පැහැදිළි කරන්නෙමුද, (ඇවැත් ගෞතමයන්ගේ) කිසි ධාර්මිකවූ වාද ප්‍රවෘත්තියක් (වාදානුපාතයක්) ගැරහිය යුතු බවට නොපැමිණෙන්නේද” කියායි.

“ඇවැත්නි, සැපදුක් පටිච්චසමුප්පන්නයයි (නිසා උපන්නේයයි) භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී. කුමක් නිසාද? ස්පර්ශය නිසායයි මෙසේ කියන්නේ, භාග්‍යවතුන් වහන්සේ කියනලද්ද අනුව කියන්නේද, වන්නේය. භාග්‍යවතුන් වහන්සේ බොරුවෙන් යටකොට නොකියන්නේද වන්නේය. ධර්මානුකූලව ධර්මය පැහැදිළි කරන්නේය. කිසි ධර්මිකවූ වාද ප්‍රවෘත්තියක් (වාදානුපාතයක්) ගැරහිය යුතුබවට නොපැමිණෙන්නේය කියායි. ඇවැත්නි, ඒ සිව්වාදයන්හිදී, කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ සැප දුක් තමා විසින් කරන ලද්දේයයි පණවත්ද, එයත් ස්පර්ශය නිසා ඇතිවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ සැපදුක් අනුන් විසින්ද කරන ලද්දේයයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇතිවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ සැප දුක් තමා විසින්ද අනුන් විසින්ද කරන ලද්දේයයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇතිවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ සැප දුක් තමා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව ඉබේ ඇතිවූයේයයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇතිවේ. ඇවැත්නි, ඒ සිව් වාදයන්හිදී කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ සැප දුක් තමා විසින් කරන ලද්දේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ සැප දුක් අනුන් විසින් කරන ලද්දේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව සැපදුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ. කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ සැප දුක් තමා විසින්ද, අනුන් විසින්ද කරණ ලද්දේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව සැප දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ සැප දුක් තමා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව, ඉබේ ඇතිවූයේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව සැප දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ.”

ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම වනාහි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්ගේ ආයුෂ්මත් භුමිජ ස්ථවිරයන් හා වූ මේ කථා සල්ලාපය ඇසුවේය. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම යම්තාක් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් හා ආයුෂ්මත් භූමිජ ස්ථවිරයන් හා කථා සල්ලාපයක් වූයේද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට කීයේය. “සාදු! සාදු!! ආනන්දය, සැරියුත් තෙම එය මනාකොට පැහැදිළි කරනු ලබන්නේ, යම්සේ පැහැදිලි කරන්නේද, ආනන්දය, (එසේ) මා විසින් සැප දුක් වනාහි පටිච්චසමුප්පන්නයයි (නිසා ඇතිවූයේයයි) කියන ලදී. කුමක් නිසාද? ස්පර්ශය නිසායි මෙසේ කියන්නේ මා කියන ලද්ද අනුව කියන්නේද වන්නේය. මා බොරුවෙන් යට කොට නොකියන්නේද වන්නේය. ධර්මානුකූලව ධර්මය පැහැදිළි කරන්නේය. කිසි ධාර්මිකවූ වාදප්‍රවෘත්තියක් (වාදානුපාතයක්) ගැරහිය යුතු බවට නොපැමිණෙන්නේ යයි කියායි. ආනන්දය, ඒ සිව්වාදයන්හිදී, කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ සැප දුක් තමා විසින් කරන ලද්දේයයි පණවත්ද එයත් ස්පර්ශය නිසා ඇතිවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ සැප දුක් අනුන් විසින් කරන ලද්දේයයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇතිවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ සැප දුක් තමා විසින්ද අනුන් විසින්ද කරන ලද්දේ යයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇති වේ. කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ සැප දුක් තමා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව, ඉබේ ඇති වූයේ යයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇතිවේ. ආනන්දය, ඒ සිව්වාදයන්හිදී, කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ සැප දුක් තමා විසින් කරන ලද්දේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව සැප දුක් විඳිති, යන මේ කරුණ විද්‍යමාන නොවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ සැප දුක් අනුන් විසින් කරන ලද්දේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව සැප දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ සැප දුක් තමා විසින්ද අනුන් විසින්ද කරන ලද්දේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව සැප දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ. කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ සැප දුක් තමා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව, ඉබේ ඇතිවූයේ යයි පණවත්ද, ඔවුහු වනාහි, ස්පර්ශය නැතිව සැප දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ. ආනන්දය, කයින් කළ යුත්තක් ඇති කල්හි හෝ කායද්වාරයෙහි උපන් චේතනාව හේතුකොටගෙන තමා තුළ සැප දුක් උපදියි. ආනන්දය, වචනයෙන් කළ යුත්තක් ඇති කල්හි වාග් ද්වාරයෙහි උපන් චේතනාව හේතුකොටගෙන තමා තුළ සැප දුක් උපදියි, ආනන්දය, මනසින් කළ යුත්තක් ඇති කල්හි මනොද්වාරයෙහි උපන් චේතනාව හේතුකොටගෙන තමා තුළ සැප දුක් උපදියි. යමෙක් නිසා අධ්‍යාත්මිකවූ සැප දුක් උපදීද, ආනන්දය, අවිජ්ජාව නිසාම (අනුන්ගේ මෙහෙයීමක් නැති බැවින්) තමා හෝ ඒ කාය සංස්කාරය රැස්කෙරෙයි. යමක් නිසා අධ්‍යාත්මිකවූ සැප දුක් උපදීද, ආනන්දය, අනුන් හෝ ඒ කාය සංස්කාරය රැස් කෙරෙයි. යමක් නිසා අධ්‍යාත්මිකවූ, සැප දුක් උපදීද, ආනන්දය, (කර්ම විපාක) දන්නේ හෝ ඒ කාය සංස්කාර රැස් කෙරෙයි. යමක් නිසා අධ්‍යාත්මිකවූ, සැප දුක් උපදීද, ආනන්දය (කර්මය දැන, විපාක) නොදන්නේ හෝ ඒ කාය සංස්කාර රැස්කෙරෙයි. යමක් නිසා අධ්‍යාත්මිකවූ, සැප දුක් උපදීද, ආනන්දය, තෙමේ හෝ ඒ වාක් සංස්කාරය රැස් කෙරෙයි. යමක් නිසා අධ්‍යාත්මිකවූ, සැප දුක් උපදීද, ආනන්දය, අනුන් හෝ ඒ වාක් සංස්කාරය රැස් කෙරෙයි. යමක් නිසා අධ්‍යාත්මිකවූ සැප දුක් උපදීද, ආනන්දය, (කර්ම විපාක) දන්නේ හෝ ඒ වාක් සංස්කාරය රැස් කෙරෙයි. යමක් නිසා අධ්‍යාත්මිකවූ සැප දුක් උපදීද, ආනන්දය, (කර්මය දැන, විපාක) නොදන්නේ හෝ ඒ වාක් සංස්කාරය රැස් කෙරෙයි. යමක් නිසා අධ්‍යාත්මිකවූ, සැප දුක් උපදීද, ආනන්දය, තෙමේ හෝ ඒ චිත්ත සංස්කාරය රැස් කෙරෙයි. යමක් නිසා අධ්‍යාත්මිකවූ, සැප දුක් උපදීද, ආනන්දය, අනුන් හෝ ඒ චිත්ත සංස්කාරය රැස් කෙරෙයි. යමක් නිසා අධ්‍යාත්මිකවූ සැප දුක් උපදීද, ආනන්දය, (කර්මය විපාක) දන්නේ හෝ ඒ චිත්ත සංස්කාරය රැස් කෙරෙයි. යමක් නිසා අධ්‍යාත්මිකවූ සැප දුක් උපදීද, ආනන්දය, (කර්ම විපාක) නොදන්නේ හෝ ඒ චිත්ත සංස්කාරය රැස් කෙරෙයි. ආනන්දය, මේ ධර්මයන්හි අවිජ්ජා තොමෝ පිළිවෙළින් සම්බන්ධවූවාය.

“ආනන්දය, අවිජ්ජාව සහමුලින් නැතිකිරීමෙන්ම යම් කායික සිතුවිලි නිසා කයෙහි අද්ධ්‍යාත්මිකවූ සැප දුක් උපදීද, ඒ කය ඇති නොවෙයි. යමක් නිසා වචනයෙහි අද්ධ්‍යාත්මිකවූ, සැප දුක් උපදීද, ඒ වචනය ඇති නොවෙයි. යමක් නිසා සිතෙහි අද්ධ්‍යාත්මිකවූ, සැප දුක් උපදීද, ඒ සිත ඇති නොවෙයි. යම් සිතුවිලි මුල්කොට වනාහි අද්ධ්‍යාත්මිකවූ සැපදුක් උපදීද, ඒ සිතුවිලි තමා පිහිටා නොසිටින බැවින් ඒ සැප දුක්වලට කෙත නොවේ. යම් සිතුවිලි මුල්කොට වනාහි අද්ධ්‍යාත්මිකවූ, සැප දුක් උපදීද, ඒ සිතුවිලි තමා පිහිටා නොසිටින බැවින් ඒ සැප දුක්වලට වස්තු නොවේ. යම් සිතුවිලි මුල්කොට වනාහි අද්ධ්‍යාත්මිකවූ; සැප දුක් උපදීද, ඒ සිතුවිලි තමා ප්‍රත්‍යය නොවන බැවින් ඒ සැප දුක් වලට හේතු නොවේ. යම් සිතුවිලි මුල්කොට වනාහි අද්ධ්‍යාත්මිකවූ සැප දුක් උපදීද, ඒ සිතුවිලි තම, කරුණු නොවෙන බැවින් ඒ සැප දුක්වලට හේතු නොවේ.