සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

3. දසබල වර්ගය

6. උපවාණ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක.

ඉක්බිති ඇවැත් “උපවාණ’ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ, ආයුෂ්මත් උපවාණ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි දුක තමා විසින් කරන ලද්දේයයි පණවන ඇතැම් මහණ බමුණෝ වෙති. ස්වාමීනි, දුක අනුන් විසින් කරන ලද්දේයයි පණවන මහණ බමුණෝ වෙති. ස්වාමීනි; දුක තමන් විසින්ද අනුන් විසින්ද කරන ලද්දේයයි පණවන මහණ බමුණෝ වෙති. ස්වාමීනි, දුක තමන් විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව, ඉබේ ඇතිවූයේයයි පණවන මහණ බමුණෝ වෙති. ස්වාමීනි, මෙහිදී අපේ භාග්‍යවතුන් වහන්සේ කිනම් වාද ඇතිසේක්ද? කුමක් කියන සේක්ද? කෙසේ පැහැදිළි කරන්නාවූ, අපි ඇවැත් ගෞතමයන් කියන ලද්දට අනුව කියන්නෝ වෙමුද, ඇවැත් ගෞතමයන් කෙසේ බොරුවෙන් යටකොට කියන්නෝ නොවෙමුද; ධර්මානුකූලව ධර්මය කෙසේ පැහැදිලි කරන්නෙමුද, (ඇවැත් ගෞතමයන්ගේ) කිසි ධාර්මිකවූ වාද ප්‍රවෘත්තියක් (වාදානුපාතයක්) හැරගිය යුතු බවට නොපැමිණෙන්නේද, කියායි.”

“උපවාණය, දුක වනාහි පටිච්චසමුප්පන්නයයි (නිසා උපන්නේයයි) මා විසින් කියන ලදී. කුමක් නිසාද? ස්පර්ශය නිසායයි මෙසේ කියන්නේ මා කියන ලද්ද අනුව කියන්නේද වන්නේය. මා බොරුවෙන් යටකොට නොකියන්නේද වන්නේය. ධර්මානුකූලව ධර්මය පැහැදිළි කරන්නේය. කිසි ධාර්මිකවූ වාද ප්‍රවෘත්තියක් (වාදානුපාතයක්) ගැරැහිය යුතු බවට නොපැමිණෙන්නේය.

“උපවාණය, එහිදී යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් කරන ලද්දේයයි පණවත්ද, එයත් ස්පර්ශය නිසා ඇතිවෙයි. යම් ඒ මහණ බමුණෝ දුක අනුන් විසින් කරන ලද්දේයයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇතිවෙයි. යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින්ද අනුන් විසින්ද කරන ලද්දේයයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇතිවෙයි. යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව, ඉබේ ඇතිවූයේයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇති වෙයි.

“උපවාණය, මෙහිදී යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් කරන ලද්දේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ. යම් ඒ මහණ බමුණෝ දුක අනුන් විසින් කරන ලද්දේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ. යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින්ද අනුන් විසින්ද කරණ ලද්දේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ. යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව, ඉබේ ඇතිවූයේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ.”

(හයවන උපවාණ සූත්‍රය නිමි)