සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

4. කළාරඛත්තිය වර්ගය

1. භූතමිදං සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි, වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ සැරියුත් තෙරුන්ට කථා කළ සේක. “ශාරිපුත්‍රයෙනි, මෙය පාරායන සූත්‍රයෙහි අජිත මාණවකයා විසින් අසන ලද ප්‍රශ්නයේදී, (මා විසින්) දේශනා කරන ලදී.”

‘නිදුකාණෙනි, නුවණැත්තාවූ ඔබවහන්සේ මේ ශාසනයෙහි දැනගන්නා ලද ධර්මය ඇති, යම් අය වෙත්ද, හික්මෙන්නාවූ යම් ආර්ය පුද්ගලයෝ සත් දෙනෙක් වෙත්ද, ඔවුන්ගේ ප්‍රතිපත්තිය අසන ලද මට කියා දෙනු මැනවි.’

“ශාරිපුත්‍රයෙනි, සංක්ෂේපයෙන් කියන ලද මෙහි අර්ථ විස්තර වශයෙන් කෙසේ දත යුතු දැයි ඇසූහ. මෙසේ ඇසූ කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍රතෙමේ නිශ්ශබ්ද විය. දෙවෙනුවත් භාග්‍යවතුන් වහන්සේ ශාරිපුත්‍ර තෙරුන්හට කථා කළ සේක. ශාරිපුත්‍රයෙනි, මෙය “පාරායන” සූත්‍රයෙහි අජිතමාණවකයා විසින් අසන ලද ප්‍රශ්නයේදී, (මා විසින්) දේශනා කරන ලදී.

‘නිදුකාණෙනි, නුවණැත්තාවූ ඔබ මේ ශාසනයෙහි දැනගන්නා ලද ධර්මය ඇති, යම් අය වෙත්ද, හික්මෙන්නාවූ යම් ආර්ය පුද්ගලයෝ සත් දෙනෙක් වෙත්ද, ඔවුන්ගේ ප්‍රතිපත්තිය අසන ලද මට කියා දෙනු මැනවි.’

“ශාරිපුත්‍රයෙනි, මෙය විස්තර වශයෙන් කෙසේ තේරුම දත යුතුද කියායි මෙසේ වදාළ කල්හි, දෙවනුවත් ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙම නිශ්ශබ්ද විය.

තෙවෙනුවත් භාග්‍යවතුන් වහන්සේ ශාරිපුත්‍ර තෙරුන් හට කථාකළසේක. “ශාරිපුත්‍රයෙනි, මෙය “පාරායන” සූත්‍රයෙහි අජිත මාණවකයා විසින් අසන ලද ප්‍රශ්නයේදී, (මා විසින්) දේශනා කරන ලදී.

‘නිදුකාණෙනි, නුවණැත්තාවූ ඔබ මේ ශාසනයෙහි දැනගන්නා ලද ධර්මය ඇති, යම් අය වෙත්ද, හික්මෙන්නාවූ යම් ආර්ය පුද්ගලයෝ සත් දෙනෙක් වෙත්ද, ඔවුන්ගේ ප්‍රතිපත්තිය අසන ලද මට කියා දෙනු මැනවි.’

“ශාරිපුත්‍රයෙනි, මෙය විස්තර වශයෙන් කෙසේ තේරුම දතයුතුද කියායි. මෙසේ වදාළ කල්හි, තෙවනුවත් ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙම නිශ්ශබ්ද විය.

“ශාරිපුත්‍රයෙනි, මේ හටගත් පඤ්චස්කන්ධය දක්නෙහි දැයි” ඇසූහ. ‘ස්වාමීනි, මේ හටගත් පඤ්චස්කන්ධය ඇතිසැටියෙන් විදර්ශනා, ඥානයෙන් හා මාර්ගඥානයෙන් මනාකොට දකීයයි’ කීයේය. මේ හටගත් පඤ්චස්කන්ධය තත්ත්වාකාරයෙන් විදර්ශනා ඥානයෙහි මාර්ග ඥානයෙන් මනාකොට දැක, පඤ්චස්කන්ධයට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැති කිරීම පිණිස පිළිපන්නේ වෙයි. මේ පඤ්චස්කන්ධය හේතූන් නිසා හට ගන්නේයයි තත්ත්වාකාරයෙන් විදර්ශනා ඥානයෙන් සහ මාර්ග ඥානයෙන් දකියි. මේ පඤ්චස්කන්ධය හේතූන් නිසා හට ගත්තේයයි ඇතිසේ විදර්ශනා ඥානයෙන් සහ මාර්ගඥානයෙන් මනාකොට දැන, හේතුවෙන් හටගත් පඤ්චස්කන්ධයෙහි කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැති කිරීම පිණිස පිළිපන්නේවෙයි. යම් පඤ්චස්කන්ධයක් වෙයිද එය හේතූන්ගේ නිරුද්ධවීමෙන් නිරුද්ධවන ස්වභාවය ඇත්තේයයි ඇතිසේ විදර්ශනාඥානයෙන් හා මාර්ගඥානයෙන් මනාකොට දකියි. යම් පඤ්චස්කන්ධයක් වේද, එය හේතූන්ගේ නිරෝධයෙන් නිරුද්ධ වන ස්වභාවය ඇත්තේයයි ඇතිසේ විදර්ශනා ඥානයෙන් හා මාර්ග ඥානයෙන් මනාකොට දැක, නිරුද්ධවන ස්වභාවය ඇත්තාවූ පඤ්චස්කන්ධයේ කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයි. ස්වාමීනි, මෙසේ වනාහි සේඛ පුද්ගල තෙමේ වෙයි.

“ස්වාමීනි, කෙසේ වනාහි ධර්මය දැන ගන්නා ලද තැනැත්තේ වෙයිද? ස්වාමීනි හටගත් මේ පඤ්චස්කන්ධය ඇතිසේ විදර්ශනා සහිත මාර්ගඥානයෙන් මනාකොට දකී. මේ හටගත් පඤ්චස්කන්ධය ඇතිසේ විදර්ශනා සහිත මාර්ගඥානයෙන් මනාකොට දැක, පඤ්චස්කන්ධයට කලකිරීමෙන් නොඇලීමෙන් (එය) නැති කිරීමෙන් සතර උපාදානයන්ගෙන් කිසි ධර්මයක් නොගෙන, මිදුනේ වෙයි. මේ පඤ්චස්කන්ධය හෙතූන් නිසා හටගත්තේයයි ඇතිසේ විදර්ශනා සහිත මාර්ග ඥානයෙන් මනාකොට දකියි. මේ පඤ්චස්කන්ධය හේතූන් නිසා හටගත්තේයයි ඇතිසේ විදර්ශනා සහිත මාර්ගඥානයෙන් මනාකොට දැක, හේතූන් නිසා හටගත් පඤ්චස්කන්ධය කලකිරීමෙන්, නො ඇලීමෙන්, (එය) නැති කිරීමෙන්, සතර උපාදානයන්ගෙන් (කිසි ධර්මයක් නොගෙන) මිදුනේ වෙයි. ඒ හේතූන්ගේ නැතිවීමෙන් හේතූන්ගෙන් හටගන්නා යම් පඤ්චස්කන්ධයක් වෙයිද, එය හේතූන්ගේ නිරුද්ධවීමෙන් නිරුද්ධවන ස්වභාවය ඇත්තේයයි විදර්ශනා සහිත මාර්ගඥානයෙන් දකියි. හේතූන්ගෙන් හටගන්නා යම් පඤ්චස්කන්ධයක් වෙයිද එය හේතූන්ගේ නිරුද්ධවීමෙන් නිරුද්ධවන ස්වභාවය ඇත්තේයයි ඇතිසේ දැක, පඤ්චස්කන්ධයට කලකිරීමෙන්, නොඇලීමෙන්, (එය) නැති කිරීමෙන්, සතර උපාදානයන්ගෙන් (කිසි ධර්මයක් නොගෙන) මිදුනේ වෙයි. ස්වාමීනි, මෙසේ වනාහි ධර්මය දැනගන්නා ලද තැනැත්තේ (අසේඛ) වෙයි. ස්වාමීනි, මෙසේ වනාහි පාරායන සූත්‍රයෙහි වූ, අජිත ප්‍රශ්නයේදී යමක් වදාරණ ලදද, එනම්:-

“නිදුකාණෙනි, නුවණැත්තාවූ ඔබ මේ ශාසනයෙහි දැනගන්නා ලද ධර්මය ඇති, යම් අය වෙත්ද, හික්මෙන්නාවූ යම් ආර්ය පුද්ගලයෝ සත්දෙනෙක් වෙත්ද, ඔවුන්ගේ ප්‍රතිපත්තිය අසනලද මට කියා දෙනු මැනවි” යනුයි.

“ස්වාමීනි, කෙටියෙන් දේශනා කළ මෙහි අර්ථ මෙසේ විස්තර වශයෙන් දනිමියි කීය.” “සාදු! සාදු!! ශාරිපුත්‍රය මේ හටගත් පඤ්චස්කන්ධය ඇතිසේ විදර්ශනා සහිත මාර්ගඥානයෙන් මනාකොට දකියි. මේ හටගත් පඤ්චස්කන්ධය ඇතිසේ විදර්ශනා සහිත මාර්ගඥානයෙන් මනාකොට දැක, පඤ්චස්කන්ධයට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැති කිරීම පිණිස, පිළිපන්නේ වෙයි. මේ පඤ්චස්කන්ධය හේතූන් නිසා හටගත්තේයයි ඇති සැටියෙන් විදර්ශනා සහිත මාර්ගඥානයෙන් මනාකොට දකියි. මේ පඤ්චස්කන්ධය හේතූන් නිසා හටගත්තේයයි ඇතිසේ විදර්ශනා සහිත මාර්ගඥානයෙන් මනාකොට දැන හේතූන් නිසා හටගත් පඤ්චස්කන්ධයේ කලකිරීම පිණිස නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, පිළිපන්නේ වෙයි යම් පඤ්චස්කන්ධයක් වූයේද ඒ හේතූන් නැතිවීමෙන්, එය නැතිවන ස්වභාවය ඇත්තේයයි ඇතිසේ විදර්ශනා සහිත මාර්ගඥානයෙන් මනාකොට දකී. යම් පඤ්චස්කන්ධයක් වූයේද, ඒ හේතූන්ගේ නැතිවීමෙන් නැතිවන ස්වභාවය ඇත්තේයයි ඇතිසේ විදර්ශනා සහිත මාර්ගඥානයෙන් මනාකොට දැක, පඤ්චස්කන්ධයේ කලකිරීම පිණිස, නොඇලීම පිණිස (එය) නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයි. ශාරිපුත්‍රයෙනි, මෙසේ වනාහි හික්මෙන්නෙක් වෙයි.

“ශාරිපුත්‍රයෙනි, කෙසේ වනාහි ධර්මය දැනගන්නාලද පුද්ගල තෙමේ වෙයිද? ශාරිපුත්‍රයෙනි, හටගත් මේ පඤ්චස්කන්ධය ඇතිසේ විදර්ශනා සහිත මාර්ගඥානයෙන් මනාකොට දකී. මේ හටගත් පඤ්චස්කන්ධය ඇතිසේ විදර්ශනා සහිත මාර්ගඥානයෙන් මනාකොට දැක, පඤ්චස්කන්ධයට කලකිරීමෙන් නො ඇලීමෙන් (එය) නැතිකිරීමෙන් සතර උපාදානයන්ගෙන් කිසි ධර්මයක් නොගෙන, මිදුනේ වෙයි. මේ පඤ්චස්කන්ධය හේතූන් නිසා හටගත්තේයයි ඇතිසේ විදර්ශනා සහිත මාර්ගඥානයෙන් මනාකොට දැක, හේතූන් හටගත් නිසා හටගත් පඤ්චස්කන්ධයට කලකිරීමෙන්; නො ඇලීමෙන්, (එය) නැති කිරීමෙන්, සතර උපාදානයන්ගෙන් (කිසි ධර්මයක් නොගෙන) මිදුනේ වෙයි. යම් පඤ්චස්කන්ධයක් වූයේද, ඒ හේතූන්ගේ නැතිවීමෙන් එය නැතිවන ස්වභාව ඇත්තේයයි ඇතිසේ විදර්ශනා සහිත මාර්ගඥානයෙන් දකියි. යම් පඤ්චස්කන්ධයක් වූයේද, හේතූන් නැතිවීමෙන් එය නැතිවන ස්වභාවය ඇත්තේයයි ඇතිසේ දැක, පඤ්චස්කන්ධයේ නැතිවීමට කලකිරීමෙන්, නො ඇලීමෙන්, (එය) නැතිකිරීමෙන් සතර උපාඥානයන්ගෙන් (කිසි ධර්මයක් නොගෙන) මිදුනේ වෙයි. ශාරිපුත්‍රයෙනි, මෙසේ වනාහි පාරායන සූත්‍රයෙහිවූ, අජිත ප්‍රශ්නයෙදී යමක් වදාරණ ලදද එනම්:-

“නිදුකාණෙනි, නුවණැත්තාවූ, ඔබ මේ ශාසනයෙහි දැන ගන්නාලද ධර්මය ඇති, යම් අය වෙත්ද, හික්මෙන්නාවූ යම් ආර්ය පුද්ගලයෝ සත් දෙනෙක් වෙත්ද, ඔවුන්ගේ ප්‍රතිපත්තිය අසන ලද මට කියාදෙනු මැනවි” යනුයි. ශාරිපුත්‍රයෙනි, කෙටියෙන් වදාළ මේ දේශනාවේ අර්ථ විස්තර වශයෙන් මෙසේ දත යුතුයි වදාළේය.

(පළමුවන භූතමිදං සූත්‍රයයි)