සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

6. දුක්ඛ වර්ගය

4. සංයෝජන සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ මහණෙනියි කියා භික්ෂූන් ඇමතූහ. ස්වාමීනියි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, යම්සේ වනාහි තෙල්ද නිසා වැටියද නිසා තෙල් පහන දැල්වෙන්නේද, එහි පුරුෂයෙක් කලින් කල තෙල් වත් කරන්නේද, වැටි දමන්නේද, මහණෙනි, එසේ වනාහි ඒ තෙල් පහන ඒ (තේලාදිය) නිසා, ඒ හේතුවෙන් බොහෝ දීර්ඝ කාලයක් දැල් වෙන්නේද, මහණෙනි, එසේම වනාහි සංයෝජනයන්ට අරමුණුවන ධර්මයන්හි රසවිඳීම් අනුව බලමින් වාසය කරන්නහුගේ තණ්හා තොමෝ වැඩෙන්නීය. තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි. උපාදානය නිසා භවය ඇතිවෙයි. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවෙයි. ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, (හැඬීම්) දුක් දොම්නස් සහ උපායාසයෝ (වැළපීම්) ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක්ගොඩ ඇතිවෙයි.

“මහණෙනි, යම්සේ තෙල්ද නිසා වැටියද නිසා තෙල් පහන දැල්වෙන්නේද, එහි පුරුෂයෙක් කලින් කල තෙල් වත්නොකරන්නේද, වැටි නොදමන්නේද, මහණෙනි, මෙසේ වනාහි ඒ තෙල් පහන පූර්වවූ, (තෙල් ආදී) හේතූන් නැතිවීයාමෙන් සහ අන්‍යවූ ආහාර නොලැබීමෙන් නිරාහාර වූයේ නිවීයන්නේය. මහණෙනි, එසේම වනාහි සංයෝජනයන්ට අරමුණුවූ ධර්මයන්හි ආදීනව අනුව බලමින් වාසය කරන්නහුගේ තණ්හාතොමෝ නැතිවන්නීය. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවේ. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැති වෙයි. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක පරිදේව (හැඬීම්) දුක්, දොම්නස් සහ උපායාසයෝ (වැළපීම්) නැතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවේ.

(සිව්වන සංයෝජන සූත්‍රය නිමි.)