සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

6. දුක්ඛ වර්ගය

5. මහාරුක්ඛ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනියි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තරදුන්හ (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, තෘෂ්ණා දෘෂ්ටි ආදීන් විසින් අල්වාගනු ලබන ධර්මයන්හි රස විඳගැනීම අනුව බලමින් වාසය කරන්නාගේ තණ්හා තොමෝ වැඩෙන්නීය. තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි. උපාදානය නිසා භවය ඇතිවෙයි. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවෙයි. ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව (හැඬීම්) දුක්, දොම්නස් සහ උපායාසයෝ (වැළපීම්) ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවෙයි.

“මහණෙනි, යම්සේ වනාහි මහගසක් ඒ ගසේ යටට ගමන් කරන්නාවූ, යම් මුල්වෙත්ද, හරහට ගමන් කරන්නාවූ යම් මුල්වෙත්ද, ඒ සියල්ල උඩට ඕජාව ගෙන යෙත්ද, මහණෙනි, මෙසේ වනාහි ඒ මහ ගස ඒ ( ඕජාව) නිසා, ඒ හේතුවෙන් බොහෝ දීර්ඝ කාලයක් සිටින්නේය. මහණෙනි, එසේම වනාහි තෘෂ්ණාදෘෂ්ටි ආදීන් විසින් අල්වා ගනු ලබන ධර්මයන්හි රස විඳ ගැනීම අනුව බලමින් වාසය කරන්නහුගේ තණ්හා තොමෝ වැඩෙන්නීය. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවෙයි. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවෙයි. ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව (හැඬීම්) දුක්, දොම්නස් සහ උපායාසයෝ (වැළපීම්) ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවෙත්.

“මහණෙනි, තෘෂ්ණාදෘෂ්ටි ආදීන් විසින් අරමුණු කරනු ලබන ධර්මයන්හි ආදීනව අනුව බලමින් වාසය කරන්නහුගේ තෘෂ්ණාතොමෝ නැති වන්නීය. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැති වෙයි. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව (හැඬීම්) දුක්, දොම්නස් සහ උපායාසයෝ (වැළපීම්) නැති වෙත්. මෙසේ මේ සියලු දුක්ගොඩ නැතිවෙයි.

“මහණෙනි, යම්සේ මහ ගසක් වේද, ඉක්බිති පුරුෂයෙක් උදැල්ලක් සහ කූඩයක් ගෙන එන්නේය. (අවුත්) හෙතෙම ඒ ගසේ මුල් කපන්නේය. මුල් කපා, මුල් හාරන්නේය. මුල්හාරා, යටත් පිරිසෙයින් සැවැන්න මුල් පමණවූද මුල් උදුරන්නේය. හෙතෙම කඩ කඩ කොට කපන්නේය. කඩ කඩ කොට පලන්නේය. පළා කැබලි-කැබලි කරන්නේය. කැබලි-කැබලි කොට, පවනෙහි සහ අවුවෙහි වේලන්නේය. පවනෙහි සහ අවුවෙහි වේලා ගින්නෙන් පුළුස්සන්නේය. ගින්නෙන් පුළුස්සා, අළු කරන්නේය. අළුකොට තද සුළඟෙහි හෝ පොලා හරින්නේය. ඉක්මණින් ගලා බසින්නාවූ, දියදහරින් යුත් ගඟෙහි හෝ පාකර හරින්නේය. මහණෙනි, එසේ වනාහි ඒ මහගස මුල් කපන ලද්දේ, තල් කඳක් මෙන් කරන ලද්දේ, මත්තෙහි නොවැඩෙනසේ අභාවයට පත්කරන ලද්දේ, වන්නේය. මහණෙනි, එසේම වනාහි තෘෂ්ණාදෘෂ්ටි ආදීන් විසින් අල්වාගනු ලබන ධර්මයන්හි ආදීනව අනුව බලමින් වාසය කරන්නාගේ තණ්හා තොමෝ නැතිවන්නීය. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවේ. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව (හැඬීම්) දුක්, දොම්නස් සහ උපායාසයෝ (වැළපීම්) නැතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවෙයි.

(පස්වන මහාරුක්ඛ සූත්‍රය නිමි.)