සංයුත්තනිකායො
නිදාන වර්ගය
1. නිදාන සංයුත්තය
6. දුක්ඛ වර්ගය
6. මහාරුක්ඛ සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යම් සේ වනාහි මහ ගසක් ඒ ගසේ යටට ගමන් කරන්නාවූ, යම් මුල්වෙත්ද, හරහට ගමන් කරන්නාවූ යම් මුල්වෙත්ද, ඒ සියල්ල උඩට ඕජාව ගෙන යෙත්, මහණෙනි, මෙසේ වනාහි ඒ මහ ගස ඒ ( ඕජාව) නිසා ඒ හේතුවෙන් බොහෝ දීර්ඝ කාලයක් සිටින්නේය. මහණෙනි, එසේම වනාහි තෘෂ්ණා දෘෂ්ටි ආදීන් විසින් අල්වාගනු ලබන ධර්මයන්හි රස විඳගැනීම අනුව බලමින් වාසය කරන්නාගේ තණ්හා තොමෝ වැඩෙන්නීය. තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ. ජාතිය (ඉපදීම) නිසා ජරා මරණද ශෝක, පරිදේව හැඬීම්, දුක් දොම්නස් සහ උපායාසයෝ (වැළපීම්) ඇතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ ඇතිවේ.
“මහණෙනි, යම්සේ මහ ගසක් වේද, ඉක්බිති පුරුෂයෙක් උදැල්ලක් සහ කූඩයක් ගෙන එන්නේය. (අවුත්) හෙතෙම ඒ මුල් කපන්නේය. මුල්කපා මුල් හාරන්නේය. මුල්හාරා යටත් පිරිසෙයින් සැවැන්න මුල් පමණවූද මුල් උදුරන්නේය. හෙතෙම ඒ ගස කඩ කඩ කොට කපන්නේය. කඩ කඩ කොට කපා, පළන්නේය, පළා, කැබලි කැබලි කරන්නේය. කැබලි කැබලිකොට, පවනෙහි සහ අවුවෙහි වේලන්නේය. පවනෙහි සහ අවුවෙයි වේලා, ගින්නෙන් පුළුස්සන්නේය. ගින්නෙන් පුළුස්සා, අළු කරන්නේය. අළුකොට, තද සුළඟෙහි හෝ පොලා හරින්නේය. ශීඝ්‍රයෙන් (ඉක්මණින්) ගලා බස්නාවූ, දිය පහරින් යුත් ගඟෙහි හෝ පාකර හරින්නේය. මහණෙනි, මෙසේ වනාහි ඒ මහ ගස මුල් කපන ලද්දේ තල් කඳක් මෙන් කරන ලද්දේ, මත්තෙහි නොවැඩෙනසේ අභාවයට පත් කරන ලද්දේ වන්නේය. මහණෙනි, එසේ වනාහි තෘෂ්ණාදෘෂ්ටි ආදීන් විසින් අල්වාගනු ලබන ධර්මයන්හි ආදීනව (දොස්) අනුව බලමින් වාසය කරන්නාගේ තණ්හා තොමෝ නැති වන්නීය. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව (හැඬීම්) දුක්, දොම්නස් සහ උපායාසයෝ (වැළපීම්) නැතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවෙයි.
(හයවන රුක්ඛ සූත්‍රය නිමි)