සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

6. දුක්ඛ වර්ගය

7. තරුණ රුක්ඛ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, සංයෝජනයන්ට අරමුණුවන ධර්මයන්හි රසවිඳගැනීම් අනුව බලමින් වාසය කරන්නාගේ තණ්හා තොමෝ වැඩෙන්නීය. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ. ජාතිය (ඉපදීම) නිසා ජරාමරණ, ශෝක, දුක්, දොම්නස් සහ උපායාසයෝ (වැළපීම්) ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවෙයි.

“මහණෙනි, (ඵලහට නොගත්) තරුණ ගසක් වේද, පුරුෂයෙක් කලින්කල ඒ ගසේ මුල් ශුද්ධකරන්නේද කලින් කල (පොහොර) පස් දෙන්නේද, කලින් කල ජලය දෙන්නේද, මහණෙනි, මෙසේ වනාහි ඒ තරුණවූ, (ඵලහට නොගත්) ගස එය ආහාර කොට ඇත්තේ, ඒ හේතුවෙන් වැඩීමට, දියුණුවීමට, මහත්වීමට පැමිණෙන්නේය. මහණෙනි එසේම වනාහි සංයෝජනයන්ට අරමුණුවූ ධර්මයන්හි රස විඳගැනීම අනුව බලමින් වාසය කරන්නාගේ තණ්හා තොමෝ වැඩෙන්නීය. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවෙයි. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවෙයි. ජාතිය (ඉපදීම) නිසා ජරා මරණ, ශෝක, පරිදේව දුක් දොම්නස් සහ උපායාසයෝ (වැළපීම්) ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක්ගොඩ ඇති වෙයි.

“මහණෙනි, සංයෝජනයන්ට අරමුණුවූ ධර්මයන්හි ආදීනව අනුව බලමින් වාසය කරන්නහුගේ තණ්හාතොමෝ නැතිවන්නීය. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවේ. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව (හැඬීම්) දුක් දොම්නස් සහ උපායාසයෝ (වැළපීම්) නැතිවෙත්. මෙසේ මේ සියලු දුක්ගොඩ නැතිවෙයි.

“මහණෙනි, යම්සේ වනාහි තරුණ ගසක් වේද, ඉක්බිති පුරුෂයෙක් කූඩයක් සහ උදැල්ලක් ගෙන එන්නේය. (අවුත්) හෙතෙම ඒ ගසේ මුල් කපන්නේය. මුල් කපා, මුල් හාරන්නේය. මුල්හාරා, යටත් පිරිසෙයින් සැවැන්න මුල් පමණවූද, මුල් උදුරන්නේය. හෙතෙම ඒ ගස කඩ කඩ කොට කපන්නේය. කඩ කඩ කොට කපා, පළන්නේය. පළා කැබලි කැබලි කරන්නේය. කැබලි කැබලි කොට, පවනෙහි සහ අවුවෙහි වේලන්නේය. පවනෙහි සහ අවුවෙහි වේලා, ගින්නෙන් පුළුස්සන්නේය. ගින්නෙන් පුළුස්සා අළු කරන්නේය. අළුකොට, තද සුළඟෙහි හෝ පොලාහරින්නේය. සීඝ්‍රයෙන් (ඉක්මණින්) ගලා බස්නාවූ, දියදහරින් යුත් ගඟෙහි හෝ පාකර හරින්නේය. මහණෙනි, එසේ වනාහි ඒ තරුණ ගස මුල් කපන ලද්දේ, තල් කඳක් මෙන් කරන ලද්දේ, මත්තෙහි නොවැඩෙනසේ අභාවයට පත්කරන ලද්දේ වන්නේය.

“මහණෙනි, මෙසේම වනාහි දස සංයෝජන ධර්මයන්හි ආදීනව අනුව බලමින් වාසය කරන්නහුගේ තණ්හා තොමෝ නැතිවන්නීය. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවේ. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව (හැඬීම්) දුක් දොම්නස් සහ උපායාසයෝ (වැළපීම්) නැතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවෙයි.

(හත්වන තරුණ රුක්ඛ සූත්‍රය නිමි)