සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

6. දුක්ඛ වර්ගය

8. නාමරූප සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ මහණෙනියි කියා භික්ෂූන් ඇමතූසේක. ස්වාමීනියි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, සංයෝජනයන්ට අරමුණු වන ධර්මයන්හි රස විඳගැනීම අනුව බලමින් වාසය කරන්නහුගේ නාමරූපයට බැස ගැනීම වෙයි. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය (දැඩිව අල්ලා ගැනීම) ඇතිවේ. උපාදානය (දැඩිව අල්ලා ගැනීම) නිසා භවය ඇතිවේ. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ. ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇති වෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවෙයි.

“මහණෙනි, යම්සේ මහ ගසක් වේද, ඒ ගසේ යටට ගමන් කරන්නාවූ, යම් යටට බස්නා මුල් වෙත්ද, හරහට ගමන් කරන්නාවූ යම් මුල් වෙත්ද, ඒ සියල්ලම උඩට ඕජාව ගෙනයෙත්. මහණෙනි, එසේ වනාහි ඒ මහ ගස ඒ ( ඕජාව) නිසා ඒ හේතුවෙන් බොහෝ දීර්ඝ කාලයක් සිටින්නේය.

“මහණෙනි, එසේම වනාහි දස සංයෝජනය ධර්මයන්හි රස විඳ ගැනීම අනුව බලමින් වාසය කරන්නහුගේ නාම රූපයට බැසගැනීම වෙයි. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය (දැඩිව අල්ලා ගැනීම) ඇතිවේ. උපාදානය (දැඩිව අල්ලා ගැනීම) නිසා භවය ඇතිවේ. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ. ජාතිය (ඉපදීම) නිසා ජරාමරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක්ගොඩ ඇතිවෙයි.

“මහණෙනි, සංයෝජනයන්ට අරමුණු වන ධර්මයන්හි ආදීනව අනුව බලමින් වාසය කරන්නහුගේ නාමරූපයට බැස ගැනීම නොවෙයි. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය (දැඩිව අල්ලා ගැන්ම) නැතිවෙයි. උපාදානය (දැඩිව අල්ලා ගැනීම) නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් නැතිවෙත්. මෙසේ මේ එකම දුක් සමූහය නැතිවෙයි.

“මහණෙනි, යම්සේ මහ ගසක් වේද, ඉක්බිති පුරුෂයෙක් උදැල්ලක් සහ කූඩයක් ගෙන එන්නේය. (අවුත්) හෙතෙම ඒ ගසේ මුල් කපන්නේය. මුල් කපා මුල් හාරන්නේය. මුල් හාරා, යටත් පිරිසෙයින් සැවැන්න මුල් පමණවූද, මුල් උදුරන්නේය. හෙතෙම ඒ ගස කඩ කඩ කොට කපන්නේය. කඩ කඩ කොට කපා, පළන්නේය. පළා, කැබලි කැබලි කරන්නේය. කැබලි කැබලි කොට පවනෙහි සහ අවුවෙහි වේලන්නේය. පවනෙහි සහ අවුවෙහි වේලා, ගින්නෙන් පුළුස්සන්නේය. ගින්නෙන් පුළුස්සා අළු කරන්නේය. අළුකොට, තද සුළඟෙහි හෝ පොලා හරින්නේය. ශීඝ්‍රයෙන් (ඉක්මණින්) ගලා බස්නාවූ දිය දහරින් යුත් ගඟෙහි හෝ පාකර හරින්නේය. මහණෙනි, මෙසේ වනාහි ඒ මහ ගස මුල් කපන ලද්දේ තල් කඳක් මෙන් කරන ලද්දේ මත්තෙහි නොවැඩෙනසේ අභාවයට පත්කරන ලද්දේ වන්නේය.

“මහණෙනි, මෙසේ වනාහි සංයෝජනයන්ට අරමුණුවන ධර්මයන්හි ආදීනව අනුව බලමින් වාසය කරන්නහුගේ නාම රූපයන්ට බැස ගැනීම නොවෙයි. නාමරූපයන් නැතිවීමෙන් සළායතනයන් නැතිවෙයි. සළායතනයන් නැතිවීමෙන් ස්පර්ශය නැතිවේ. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය (දැඩිව අල්ලා ගැන්ම) නැතිවෙයි. උපාදානය (දැඩිව අල්ලා ගැනීම) නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ, ශෝකවීම් හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් නැතිවෙත්. මෙසේ මේ එකම දුක් සමූහය නැතිවෙයි.

(අටවන නාමරූප සූත්‍රය නිමි)