සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

6. දුක්ඛ වර්ගය

9. විඤ්ඤාණ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, සංයෝජනයන්ට අරමුණුවන ධර්මයන්හි රස විඳගැනීම අනුව බලමින් වාසය කරන්නහුගේ විඤ්ඤාණයට බැසගැනීමවෙයි. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙයි. නාමරූප නිසා සළායතන ඇතිවෙයි. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය (දැඩිව අල්ලා ගැනීම) ඇතිවේ. උපාදානය (දැඩිව අල්ලාගැනීම) නිසා භවය ඇතිවේ. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ. ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක්ගොඩ ඇතිවෙයි.

“මහණෙනි, මහගසක් යම්සේ වේද, ඒ ගසේ යටට යන්නාවූ, යම් යටට බස්නාවූ මුල් වෙත්ද, හරහට ගමන් කරන්නාවූ යම් මුල් වෙත්ද, ඒ සියල්ලම උඩට ඕජාව ගෙනයෙත් මහණෙනි, එසේ වනාහි ඒ මහගස ඒ ඕජාව නිසා ඒ හේතුවෙන් බොහෝ දීර්ඝ කාලයක් සිටින්නේය.

“මහණෙනි, එසේම වනාහි දස සංයෝජනයන්ට අරමුණු වන ධර්මයන්හි රස විඳගැනීම අනුව බලමින් වාසය කරන්නහුගේ විඤ්ඤාණයට බැසගැනීම වෙයි. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙයි. නාමරූප නිසා සළායතන ඇති වෙයි. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය (දැඩිව අල්ලාගැනීම) ඇතිවේ. උපාදානය (දැඩිව අල්ලාගැනීම) නිසා භවය ඇතිවේ. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ. ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක්ගොඩ ඇතිවෙයි.

“මහණෙනි, සංයෝජනයන්ට අරමුණු වන ධර්මයන්හි ආදීනව අනුව බලමින් වාසය කරන්නහුගේ විඤ්ඤාණයට බැසගැනීම නොවෙයි. විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැති වීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය (දැඩිව අල්ලාගැනීම) නැතිවෙයි. උපාදානය (දැඩිව අල්ලාගැනීම) නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් නැතිවෙත් මෙසේ මේ එකම දුක් සමූහය නැතිවෙයි.

“මහණෙනි, මහගසක් යම්සේ වේද, ඉක්බිති පුරුෂයෙක් උදැල්ලක් සහ කූඩයක් ගෙන එන්නේය. (අවුත්) හෙතෙම ඒ ගසේ මුල් කපන්නේය. මුල් කපා, මුල් හාරන්නේය. මුල් හාරා, යටත්පිරිසෙයින් සැවැන්න මුල් පමණවූද, මුල් උදුරන්නේය. හෙතෙම ඒ ගස කඩ කඩ කොට කපන්නේය. කඩ කඩ කොට කපා, පළන්නේය. පළා, කැබලි කැබලි කොට පවනෙහි සහ අවුවෙහි වේලන්නේය. පවනෙහි සහ අවුවෙහි වේලා, ගින්නෙන් පුළුස්සන්නේය. ගින්නෙන් පුළුස්සා අළුකරන්නේය. අළුකොට තද සුළගෙහි හෝ පොලා හරින්නේය. ශීඝ්‍රයෙන් (ඉක්මණින්) ගලාබස්නාවූ දියදහරින් යුත් ගඟෙහි හෝ පාකර හරින්නේය. මහණෙනි, මෙසේ වනාහි ඒ මහගස මුල් කපන ලද්දේ. තල් කඳක්මෙන් කරන ලද්දේ. මත්තෙහි නොවැඩෙනසේ අභාවයට පත්කරන ලද්දේ වන්නේය.

“මහණෙනි. මෙසේ වනාහි දස සංයෝජන ධර්මයන්හි ආදීනව අනුව බලමින් වාසය කරන්නහුගේ විඤ්ඤාණයට බැසගැනීම නොවෙයි. විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවේ. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවේ. ස්පර්ශයනැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය (දැඩිව අල්ලාගැනීම) නැතිවෙයි. උපාදානය (දැඩිව අල්ලාගැනීම) නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් නැතිවෙත්. මෙසේ මේ එකම දුක් සමූහය නැතිවෙයි.

(නවවන විඤ්ඤාණ සූත්‍රය නිමි).