සංයුත්තනිකායො
නිදාන වර්ගය
1. නිදාන සංයුත්තය
6. දුක්ඛ වර්ගය
10. නිදාන සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ “කම්මාස්සදම්ම” නම්වූ කුරුරට වැස්සන්ගේ නියම්ගම
ගොදුරුගම් කොට කුරුරට වාසය කරනසේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පැත්තක හිඳගත්තේය. එක්පැත්තක හිඳගත්තාවූ, ඇවැත් ආනන්ද තෙම වනාහි භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මේ පටිච්චසමුප්පාදය ඉතා ගැඹුරු වූයේත්, ගැඹුරු දැකුම් ඇත්තේත් වේද, එතකුදු වුවත් මට වනාහි නොගැඹුරුව නොගැඹුරුව මෙන් වැටහෙයි” කියායි.
“ආනන්දය, එසේ නොකියව. ආනන්දය, එසේ නොකියව. ආනන්දය, මේ පටිච්චසමුප්පාදය ගැඹුරු වූයේද, ගැඹුරු දැකුම් ඇත්තේද වෙයි. ආනන්දය, මෙසේ මේ ධර්මයාගේ නොදැනීමෙන්, අවබෝධ නොකිරීමෙන්, ප්‍රතිවෙධ නොකිරීමෙන්, මේ ප්‍රජාතොමෝ නූල් අවුලක් මෙන් වූවා, කැදැල්ලක් මෙන් වූවා. මුදුතණ හා බබුස්තණ මෙන් වූවා. සැප නැත්තාවූ, නපුරුගති ඇත්තාවූ, විෂම වැටීම් ඇත්තාවූ, සංසාරය ඉක්මවා නොයන්නීය. ආනන්දය, තෘෂ්ණා දෘෂ්ටි ආදීන් විසින් අල්වා ගනු ලබන ධර්මයන්හි රස විඳගැනීම අනුව බලමින් වාසය කරන්නහුගේ තණ්හා තොමෝ වැඩෙන්නීය. තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි. උපාදානය (දැඩිව අල්ලාගැනීම) නිසා භවය ඇතිවෙයි. භවය නිසා ජාතිය (උත්පත්තිය) ඇතිවෙයි. ජාතිය (උත්පත්තිය) නිසා ජරා මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවේ. මෙසේ මේ එකම දුක්ගොඩ ඇතිවෙයි.
“ආනන්දය, යම්සේ වනාහි මහ ගසක් වේද, ඒ ගසේ යටට ගමන්කරන්නාවූ යම් මුල්වෙත්ද, හරහට ගමන් කරන්නාවූ යම් මුල් වෙත්ද, ඒ සියල්ල උඩට ඕජාවගෙන යෙත්ද, ආනන්දය, මෙසේ වනාහි ඒ මහගස ඒ ( ඕජාව) නිසා ඒ හේතුවෙන් බොහෝ දීර්ඝ කාලයක් සිටින්නේය. ආනන්දය, එසේම වනාහි තෘෂ්ණා දෘෂ්ටි ආදීන් විසින් අල්වාගනු ලබන ධර්මයන්හි රස විඳගැනීම අනුව බලමින් වාසය කරන්නහුගේ තණ්හා තොමෝ වැඩෙන්නීය. තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි. උපාදානය (දැඩිව අල්ලා ගැනීම) නිසා භවය ඇතිවෙයි. භවය නිසා ජාතිය (උත්පත්තිය) ඇතිවෙයි. ජාතිය (උත්පත්තිය) නිසා ජරා මරණ ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ එකම දුක්ගොඩ ඇතිවෙයි.
“ආනන්දය, තෘෂ්ණාදෘෂ්ටි ආදීන් විසින් අල්වාගනු ලබන ධර්මයන්හි ආදිනව අනුව බලමින් වාසය කරන්නහුගේ තණ්හා තොමෝ නැතිවන්නීය. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය (දැඩිව අල්ලාගැනීම) නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (උත්පත්තිය) නැතිවෙයි. ජාතිය (උත්පත්තිය) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව (හැඬීම්), දුක්, දොම්නස් සහ උපායාස (වැළපීම්) නැතිවෙත්. මෙසේ මේ එකම දුක්ගොඩ නැතිවෙයි.
“ආනන්දය, යම්සේ මහගසක් වේද, ඉක්බිති පුරුෂයෙක් උදැල්ලක් සහ කූඩයක් ගෙන එන්නේය. (අවුත්) හෙතෙම ඒ ගසේ මුල් කපන්නේය. මුල් කපා, මුල් හාරන්නේය. මුල් හාරා, යටත්පිරිසෙයින් සැවැන්න මුල් පමණවූද, මුල් උදුරන්නේය. හෙතෙම ඒ ගස කඩකඩ කොට කපන්නේය. කඩ කඩ කොට කපා, පළන්නේය. පළා, කැබලි කැබලි කරන්නේය. කැබලි කැබලි කොට, පවනෙහි සහ අවුවෙහි වේලන්නේය. පවනෙහි සහ අවුවෙහි වේලා, ගින්නෙන් පුළුස්සන්නේය. ගින්නෙන් පුළුස්සා අළු කරන්නේය. අළුකොට, තද සුළඟෙහි හෝ පොලා හරින්නේය. ශීඝ්‍රයෙන් (ඉක්මණින්) ගලා බස්නාවූ, දියදහරින් යුත් ගඟෙහි හෝ පාකර හරින්නේය. ආනන්දය, මෙසේ වනාහි ඒ මහ ගස මුල් කපන ලද්දේ තල් කඳක් මෙන් කරන ලද්දේ මත්තෙහි නොවැඩෙනසේ අභාවයට පත්කරන ලද්දේ වන්නේය. ආනන්දය, මෙසේම වනාහි තෘෂ්ණාදෘෂ්ටි ආදීන් විසින් අල්වාගනු ලබන ධර්මයන්හි ආදීනව අනුව බලමින් වාසය කරන්නහුගේ තණ්හා තොමෝ නැතිවන්නීය. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවේ. උපාදානය (දැඩිව අල්ලාගැනීම) නැති වීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (උත්පත්තිය) නැතිවෙයි. ජාතිය (උත්පත්තිය) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව (හැඬීම්), දුක්, දොම්නස් සහ උපායාස (වැළපීම්) නැතිවෙත්. මෙසේ මේ එකම දුක්ගොඩ නැතිවේ.
(දසවන නිදාන සූත්‍රය නිමි.)
හයවන දුක්ඛවර්ගය නිමි.
පරිවීමංසමාන සූත්‍රය, උපාදාන සූත්‍රය, සංයෝජන සූත්‍ර දෙකය, මහාරුක්ඛ සූත්‍ර දෙකය, හත්වන තරුණරුක්ඛ සූත්‍රය, නාමරූප සූත්‍රය, විඤ්ඤාණ සූත්‍රය සහ නිදාන සූත්‍රයයි මේ වර්ගයෙහි ඒ සූත්‍ර දසය වේ.