සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

7. මහා වර්ගය

1. අස්සුතවන්තු සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූසේක. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, අශ්‍රැතවත් (බොහෝ ඇසූපිරූ තැන් නැති) පෘථග්ජනතෙම සතර මහා ධාතුවෙන් ඇතිවූ, මේ කයට කලකිරෙන්නේද, නෑලෙන්නේද, (එය) අත්හරිනු කැමැති වන්නේද වෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, මේ සතර මහා ධාතුවෙන් හටගත් කයේ වැඩීමද, පිරිහීමද, ඇතිවීමද, නැතිවීමද දකියි. ඒ නිසා එහිදී, අශ්‍රැතවත් පෘථග්ජන තෙම කලකිරෙන්නේද වෙයි. නෑලෙන්නේද වෙයි. අත්හැරීමට කැමැති වන්නේද වෙයි. මහණෙනි, යමකට වනාහි සිතයයි කියනු ලැබේද, මනසයයි කියනු ලැබේද, විඤ්ඤාණයයි කියනු ලැබේද, අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ එහි කලකිරීමෙහි සමර්ථ නොවේ, නො ඇලීමෙහි සමර්ථ නොවේ. මිදීමෙහි සමර්ථ නොවේ. ඊට හේතු කවරේද? අශ්‍රැතවත් පෘථග්ජනයා විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි ‘ඒ සිත මගේය, මම වෙමිය, මාගේ ආත්මයයි, වැළඳගන්නා ලදී. මමායනය කරනලදී. දෘෂ්ටියෙන් අල්ලාගන්නා ලදී. එහෙයින් අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ එහි කලකිරීමට සමර්ථ නොවේ. නොඇලීමට සමර්ථ නොවේ. මිදීමට සමර්ථ නොවේ.

“මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනතෙම ‘සිත මමයයි ගන්නවාට වඩා මේ සතර මහා ධාතුවෙන් හටගත් කය මමයයි ගැනීම හොඳය.’ ඊට හේතු කවරේද? මහණෙනි, සතර මහා ධාතුවෙන් හටගත්තාවූ, අවුරුද්දක් සිටින්නාවූද, දෑවුරුද්දක් සිටින්නාවූද, තුන් අවුරුද්දක් සිටින්නාවූද, සතර අවුරුද්දක් සිටින්නාවූද, පස් අවුරුද්දක් සිටින්නාවූද, දස අවුරුද්දක් සිටින්නාවූද, විසි අවුරුද්දක් සිටින්නාවූද, තිස් අවුරුද්දක් සිටින්නාවූද, හතළිස් අවුරුද්දක් සිටින්නා වූද, පනස් අවුරුද්දක් සිටින්නාවූද හැට අවුරුද්දක් සිටින්නාවූද, හැත්තෑ අවුරුද්දක් සිටින්නාවූද, අසූ අවුරුද්දක් සිටින්නාවූද, අනූ අවුරුද්දක් සිටින්නාවූද, අවුරුදු සීයක් සිටින්නාවූද, ඊට වැඩිය හෝ සිටින්නාවූද, මේ කය දක්නා ලැබේ. (එහෙයිනි.) මහණෙනි, යමකට වනාහි සිත යයි කියනු ලැබේද, මනසයයි කියනු ලැබේද, විඤ්ඤාණයයි කියනු ලැබේද ඒ සිත රෑද, දවල්ද, අනිකක්ම උපදියි අනිකක්ම නිරුද්ධ වෙයි.

“මහණෙනි, මහාවනයෙහි හැසිරෙන වඳුරා යම්සේ අත්තක් අල්ලා ගනීද, එය හැර තව අත්තක් අල්ලා ගනීද, එය හැර තව අත්තක් අල්ලා ගනීද, එය හැර තව අත්තක් අල්ලා ගනීද, මහණෙනි, එසේම මේ යමක් වනාහි සිතයයි කියනු ලැබේද, මනසයයි කියනු ලැබේද, විඤ්ඤාණයයි කියනු ලැබේද, ඒ සිත රෑද, දවල්ද, අනිකක් උපදියි, අනිකක් නිරුද්ධවෙයි.

“මහණෙනි, එහිදී ශ්‍රැතවත් (බොහෝ ඇසූපිරූතැන් ඇති) ආර්ය ශ්‍රාවකතෙම “පටිච්ච සමුප්පාදයම” මනාකොට නුවණින් කල්පනා කරයි. (කෙසේද?) මේ හේතුව ඇති කල මේ ඵලය ඇතිවෙයි. මේ හේතුවගේ පහළවීමෙන් මේ ඵලය පහළ වෙයි. මෙය නැති කල මෙය නැතිවේ. මෙය නූපන් කල්හි මෙය නූපදියි, යනුවෙනි. හේ මෙසේයි:-

“අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවේ. සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරා, මරණද, ශෝකවීම්, (හැඬීම්) දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවෙයි.

“අවිජ්ජාව මුළුමණින්ම නැතිකිරීමෙන් සංස්කාර නැති වෙයි. සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැති වෙයි. විඤ්ඤාණය නැතිවීමෙන් නාම රූප නැතිවෙයි. නාම රූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැති වෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (උත්පත්තිය), නැතිවෙයි. ජාතිය (උප්පත්තිය) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සැපයෙන්ද මිශ්‍ර දුක් සමූහය නැතිවෙයි. මහණෙනි, මෙසේ දකින්නාවූ, ශ්‍රැතවත් (බොහෝ ඇසූපිරූතැන් ඇති) ආර්ය ශ්‍රාවකතෙම රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයෙහිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරුනේ නෑලෙයි. නෑලීමෙන් නිවණ ලබයි. රහත් ඵලයට පැමුණුනු කල්හි නිවණ ලැබුවේ යයි නුවණ ඇතිවෙයි. ඉපදීම අවසාන යන වූයේය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවන ලද්දේය. කළයුතු දේ කළේය. මේ ආත්මයෙහි කළයුතු තවත් දෙයක් නැතැයි දැනගනියි.

(පළමුවන අස්සුතවන්තු සූත්‍රය නිමි.)