සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

7. මහා වර්ගය

5. නගර සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, බුද්ධත්වයට පෙරම බුදුනොවූ බෝසත්වූම මට මේ සිත පහළවිය. ‘මේ සත්ව ලෝකයා දුකට පැමිණියේ, උපදියි, ජරාවට පත්වෙයි. මැරෙයි, චුතවෙයි, පිළිසිඳගනියි. එතකුදුවුවත් ජරාමරණයෙන් යුත් මේ දුක නැතිකිරීම කවර කලක වනාහි ජරාමරණයෙන් යුත් මේ දුක නැතිකිරීම පෙනේද කියා නොදනියි’. මහණෙනි, ඒමට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි ජරාව සහ මරණය ඇතිවේද, කුමක් නිසා ජරාව සහ මරණය ඇතිවේද’? කියායි.

“මහණෙනි, ඒ මට කරුණු අනුව මෙනෙහි කිරීමෙන් ඉපදීම ඇති කල්හි වනාහි ජරාව සහ මරණය ඇතිවෙයි. ඉපදීම නිසා ජරාව සහ මරණය ඇතිවෙයි කියා නුවණින් අවබෝධවිය.

“මහණෙනි ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි ඉපදීම ඇතිවේද, කුමක් නිසා ඉපදීම ඇතිවේද’ කියායි.

“මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් භවය ඇති කල්හි වනාහි ඉපදීම (ජාතිය) ඇතිවෙයි භවය නිසා ඉපදීම (ජාතිය) ඇතිවෙයි කියා නුවණින් අවබෝධ විය.

“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය ‘කුමක් ඇති කල්හි වනාහි භවය ඇතිවේද, කුමක් නිසා භවය ඇතිවේද’ කියායි.

“මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් උපාදානය ඇති කල්හි වනාහි භවය ඇතිවෙයි උපාදානය නිසා භවය ඇතිවෙයි කියා නුවණින් අවබෝධ විය.

“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි උපාදානය ඇතිවේද, කුමක් නිසා උපාදානය ඇතිවෙයිද’ කියායි.

“මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් තණ්හාව ඇති කල්හි වනාහි උපාදානය ඇතිවෙයි. තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි කියා නුවණින් අවබෝධ විය.

“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි තණ්හාව ඇතිවේද, කුමක් නිසා තණ්හාව ඇතිවේද’ කියයි.

“මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් වේදනාව ඇති කල්හි වනාහි තණ්හාව ඇතිවෙයි. වේදනාව නිසා තණ්හාව ඇතිවෙයි කියා නුවණින් අවබෝධ විය.

“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි වේදනාව ඇතිවේද, කුමක් නිසා වේදනාව ඇතිවේද’ කියායි.

“මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් ස්පර්ශය ඇති කල්හි වනාහි වේදනාව ඇතිවෙයි. ස්පර්ශය නිසා වේදනාව ඇතිවෙයි කියා නුවණින් අවබෝධ විය.

මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි ස්පර්ශය ඇතිවේද, කුමක් නිසා ස්පර්ශය ඇතිවේද’ කියායි.

“මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් සළායතන ඇති කල්හි වනාහි ස්පර්ශය ඇතිවෙයි. සළායතනයන් නිසා ස්පර්ශය ඇතිවෙයි කියා නුවණින් අවබෝධ විය.

“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි සළායතනයන් ඇතිවේද, කුමක් නිසා සළායතනයන් ඇතිවේද’ කියායි.

“මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් නාම රූප ඇති කල්හි වනාහි සළායතන ඇතිවෙයි. නාමරූප නිසා සළායතන ඇතිවෙයි කියා නුවණින් අවබෝධවිය.

“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි නාමරූපයන් ඇතිවේද, කුමක් නිසා නාමරූප ඇතිවේද’ කියායි.

“මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් විඤ්ඤාණය ඇති කල්හි වනාහි නාමරූප ඇතිවෙයි. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙයි කියා නුවණින් අවබෝධවිය.

“මහණෙනි, ඒ මට මේ අදහස පහළ විය. ‘කුමක් ඇති කල්හි වනාහි විඤ්ඤාණය ඇතිවේද, කුමක් නිසා විඤ්ඤාණය ඇතිවෙයිද’ කියායි.

“මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් නාමරූප ඇති කල්හි වනාහි විඤ්ඤාණය ඇතිවෙයි. නාමරූප නිසා විඤ්ඤාණය ඇතිවෙයි කියා නුවණින් අවබෝධ විය.

“මහණෙනි, ඒ මට මේ අදහස ඇතිවිය. ‘මේ විඤ්ඤාණය වනාහි ආපසු හැරෙයි. නාමරූපයන්ගෙන් ඔබ්බට නොයයි. මෙතෙකින් පිළිසිඳ ගත්තේ හෝ වේ. දිරන්නේ හෝ වේ. මැරෙන්නේ හෝ වේ. චුතවන්නේ හෝ වේ. (වෙන භවයක) උපදින්නේ හෝ වේ. (කෙසේද?) ඒ මේ නාමරූපයන් නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරාමරණද, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්. දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක් සමූහයාගේ පහළවීම වෙයි.

“මහණෙනි, මට වනාහි සමුදය, සමුදයයි (ඇතිවීම ඇතිවීමයයි) පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළවිය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය. මහණෙනි, ඒ මට මේ අදහස පහළ විය. ‘කුමක් නැතිකල්හි වනාහි ජරාමරණය නැතිවේද, කවරක් නැතිවීමෙන් ජරාමරණය නැතිවේද’ කියායි. මහණෙනි, ඒ මට කරුණු අනුව මෙනෙහි කිරීමෙන් ඉපදීම නැතිකල්හි වනාහි ජරාමරණය ඇති නොවේ. ඉපදීම නිරුද්ධ කිරීමෙන් ජරාව සහ මරණය නිරුද්ධවේයයි.’ නුවණින් අවබෝධ විය. මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් නැතිකල්හි වනාහි ඉපදීම නැතිවේද, කවරක් නැතිවීමෙන් ඉපදීම නැතිවේද’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘භවය නැති කල්හි වනාහි ඉපදීම ඇති නොවෙයි. භවය නැතිකිරීමෙන් ඉපදීම නැතිවේයයි’ නුවණින් අවබෝධවිය. මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි භවය නැතිවේද, කවරක් නැතිවීමෙන් භවය නැතිවේද’ කියායි.

“මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් උපාදානය නැති කල්හි වනාහි භවය නැතිවෙයි. උපාදානය නැති කිරීමෙන් භවය නැතිවේයයි නුවණින් අවබෝධවිය. මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් නැතිකල්හි වනාහි උපාදානය නැතිවේද, කවරක් නැතිවීමෙන් උපාදානය නැතිවේද’ කියායි.

“මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් තණ්හාව නැති කල්හි වනාහි උපාදානය නැතිවෙයි. තණ්හාව නැති කිරීමෙන් උපාදානය නැතිවේයයි නුවණින් අවබෝධ විය. මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි තණ්හාව නැතිවේද, කවරක් නැතිවීමෙන් තණ්හාව නැති වේද’ කියායි.

“මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් වේදනාව නැති කල්හි වනාහි තණ්හාව නැතිවෙයි. වේදනාව නැති කිරිමෙන් තණ්හාව නැතිවේයයි නුවණින් අවබෝධ විය. මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි වේදනාව නැතිවේද, කවරක් නැතිවීමෙන් වේදනාව නැතිවේද’ කියායි.

“මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් ස්පර්ශය නැති කල්හි වනාහි වේදනාව නැතිවෙයි. ස්පර්ශය නැතිකිරීමෙන් වේදනාව නැතිවේයයි නුවණින් අවබෝධවිය. මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි ස්පර්ශය නැතිවේද, කවරක් නැතිවීමෙන් ස්පර්ශය නැතිවේද’ කියායි.

“මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් සළායතනයන් නැති කල්හි වනාහි ස්පර්ශය නැතිවෙයි. සළායතනයන් නැතිකිරීමෙන් ස්පර්ශය නැතිවේයයි නුවණින් අවබෝධවිය. මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි සළායතනයන් නැතිවේද, කවරක් නැතිවීමෙන් සළායතනයන් නැති වේද’ කියායි.

“මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් නාමරූපයන් නැති කල්හි වනාහි සළායතනයන් නැතිවෙයි. නාමරූපයන් නැතිකිරීමෙන් සළායතනයන් නැතිවේයයි නුවණින් අවබෝධවිය. මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි නාමරූපයන් නැතිවේද, කවරක් නැතිවීමෙන් නාමරූපයන් නැතිවේද’ කියායි.

“මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් විඤ්ඤාණය නැති කල්හි වනාහි නාමරූප නැතිවෙයි. විඤ්ඤාණය නැතිකිරීමෙන් නාමරූප නැතිවේයයි නුවණින් අවබෝධවිය. මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි විඤ්ඤාණය නැතිවේද, කවරක් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේද’ කියායි.

“මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් නාමරූප නැති කල්හි වනාහි විඤ්ඤාණය නැතිවෙයි. නාමරූප නැතිකිරීමෙන් විඤ්ඤාණය නැතිවේයයි නුවණින් අවබෝධ විය. මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය.

මා විසින් මේ මාර්ගය (ලෝකවාසීන්ට) අවබෝධ කරවීම පිණිස අවබෝධ කරන ලදී. මේ නාමරූප නැති කිරීමෙන් විඤ්ඤාණය නැතිවේ. විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැති වීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (උත්පත්තිය නැතිවෙයි.) ජාතිය (උප්පත්තිය) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක් සමූහය නැතිවේ.

“මහණෙනි, මට වනාහි නිරෝධය නිරෝධයයි (නැතිවීම නැතිවීමයයි) පෙර නො ඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළවිය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය. මහණෙනි, යම්සේ වනාහි වනයෙහි හැසිරෙන්නාවූ, පුරුෂයෙක්තෙම පෙර මිනිසුන් විසින් ගමන් කරන ලද, පුරාණ පාරක්, පුරාණ මාර්ගයක් දක්නේවේද, හෙතෙම ඒ මාර්ගය අනුව යන්නේ පෙර මිනිසුන් විසින් වාසය කරන ලද, මල් උයන්වලින් වන උයන්වලින් යුක්තවූ, පොකුණුවලින් යුක්තවූ, ප්‍රාකාරවලින් යුක්තවූ, (නානා භාණ්ඩ සම්පත්තියෙන්) රමණීයවූ, පුරාණ නගරයක්, පුරාණ රාජධානියක් දක්නේය.

“මහණෙනි, ඉක්බිති ඒ පුරුෂතෙම රජුට හෝ රජුගේ මහ ඇමතියාට හෝ දැනුම් දෙන්නේය. (කෙසේද?) ‘ස්වාමීනි, දැනගනු මැනවි. මම වනයෙහි හැසිරෙන්නේ, පෙර මිනිසුන් විසින් ගමන් කරන ලද, පුරාණ මාර්ගයක්, පුරාණ මාවතක් දැක්කෙමි. මම ඒ මාර්ගයෙහි ගියෙමි. ඒ මාර්ගය අනුව ගියේ පෙර මිනිසුන් විසින් වාසය කරන ලද, මල් උයන් වන උයන්වලින් යුක්තවූ, පොකුණුවලින් යුක්තවූ, ප්‍රාකාරවලින් යුක්තවූ, (නානා භාණ්ඩ සම්පත්තියෙන්) රමණීයවූ, පුරාණ නගරයක්, පුරාණ රාජධානියක් දැක්කෙමි. ස්වාමීනි, ඒ නගරය සකස් කරනු මැනව (කියායි.)

“මහණෙනි, ඉක්බිති ඒ රජු හෝ රජුගේ මහ ඇමති තෙමේ හෝ ඒ නගරය සකස් කරන්නේය. ඒ නගරය පසු කලකදී සමෘද්ධවූ සියල්ලෙන් සම්පූර්ණවූ බොහෝ මිනිසුන්ගෙන් ගහණවූ, වැඩීමට පැමිණියාවූ, මහත් බවට පැමිණියාවූ, නගරයක් වන්නේය මහණෙනි, මමද පෙර සම්බුදුවරයන් විසින් ගමන් කරන ලද, පුරාණ මාර්ගය පුරාණ මාවත දැක්කෙමි.

“මහණෙනි, පෙර සම්බුදුවරයන් විසින් ගමන් කළාවූ ඒ පුරාණ මාර්ගය, පුරාණ මාවත කවරේද?

“මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මැයි.

හේ කවරේද?

“සම්මාදිට්ඨිය, සම්මා සංකප්පය, සම්‍යක් වචනය, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මා සතිය සහ සම්මාසමාධියයි.

මහණෙනි, මෙය වනාහි ඒ පෙර සම්බුදුවරයන් විසින් ගමන් කළාවූ, පුරාණ මාර්ගයයි, පුරාණ මාවතයි. ඒ මම ඒ මාර්ගය අනුව ගියෙමි. ඒ මාර්ගය අනුව ගියාවූ මම ජරා මරණය දැනගත්තෙමි. ජරා මරණය ඇතිවීමේ හේතුව දැනගත්තෙමි. ජරා මරණ නැතිවීම දැනගත්තෙමි. ජරා මරණය නැති කරන මාර්ගය දැනගත්තෙමි. ඒ මාර්ගය අනුව ගියෙමි. ඒ මාර්ගය අනුව ගියාවූ මම ජාතිය (ඉපදීම) දැනගතිමි. ජාතිය (ඉපදීමට) හේතුව දැනගතිමි. ඉපදීම නැතිවීම දැනගතිමි. ඉපදීම නැතිකරන මාර්ගය දැනගතිමි. ඒ මාර්ගය අනුව ගියෙමි. ඒ මාර්ගය අනුව ගියාවූ මම භවය දැනගතිමි. භවයට හේතුව දැනගතිමි. භවය නැතිවීම දැනගතිමි. භවය නැතිකරන මාර්ගය දැනගතිමි. ඒ මාර්ගය අනුව ගියෙමි. ඒ මාර්ගය අනුව ගියාවූ මම උපාදානය දැනගතිමි. උපාදානය (තදින් අල්ලා ගැනීමට) හේතුව දැනගතිමි. උපාදානය (තදින් අල්ලාගැනීම) නැතිවීම දැනගතිමි. උපාදානය (තදින් අල්ලාගැනීම) නැති කරන මාර්ගය දැනගතිමි. ඒ මාර්ගය අනුව ගියෙමි. ඒ මාර්ගය අනුව ගියාවූ මම තණ්හාව දැනගතිමි. තණ්හාවට හේතුව දැනගතිමි. තණ්හාව නැතිවීම දැනගතිමි. තණ්හාව නැති කරන මාර්ගය දැනගතිමි. ඒ මාර්ගය අනුව ගියෙමි. ඒ මාර්ගය අනුව ගියාවූ මම වේදනාව දැනගතිමි. වේදනාවට හේතුව දැනගතිමි. වේදනාව නැතිවීම දැනගතිමි. වේදනාව නැති කරන මාර්ගය දැනගතිමි. ඒ මාර්ගය අනුව ගියෙමි. ඒ මාර්ගය අනුව ගියාවූ මම ස්පර්ශය දැනගතිමි. ස්පර්ශයට හේතුව දැන ගතිමි. ස්පර්ශය නැතිවීම දැනගතිමි. ස්පර්ශය නැතිකරන මාර්ගය දැනගතිමි. ඒ මාර්ගය අනුව ගියෙමි. ඒ මාර්ගය අනුව ගියාවූ මම සළායතන දැනගතිමි. සළායතනයට හේතුව දැනගතිමි. සළායතන නැතිවීම දැනගතිමි. සළායතන නැති කරන මාර්ගය දැනගතිමි. ඒ මාර්ගය අනුව ගියෙමි. ඒ මාර්ගය අනුව ගියාවූ මම නාමරූප දැනගතිමි. නාමරූපයන්ට හේතුව දැනගතිමි. නාම රූප නැතිවීම දැනගතිමි. නාම රූප නැති කරන මාර්ගය දැනගතිමි. ඒ මාර්ගය අනුව ගියෙමි. ඒ මාර්ගය අනුව ගියාවූ මම විඤ්ඤාණය දැනගතිමි. විඤ්ඤාණයට හේතුව දැනගතිමි. විඤ්ඤාණය නැතිවීම දැනගතිමි. විඤ්ඤාණය නැති කරන මාර්ගය දැනගතිමි. ඒ මාර්ගය අනුව ගියෙමි. ඒ මාර්ගය අනුව ගියාවූ මම සංස්කාරයන් දැනගත්තෙමි. සංස්කාර ඇතිවීමේ හේතුව දැනගත්තෙමි. සංස්කාර නැති වීම දැනගත්තෙමි. සංස්කාර නැතිකරන මාර්ගය දැනගත්තෙමි. එය දැන, භික්ෂූන්ට ද භික්ෂුණීන්ටද, උපාසකයන්ටද, උපාසිකාවන්ටද කීවෙමි.

“මහණෙනි, ඒ මේ ශාසන බ්‍රහ්මචරියාව ධ්‍යානාස්වාදයෙන් සමෘද්ධය. අභිඥාභරණයෙන් පිරුණේය. පැතුරුණේය. බොහෝ දෙනා විසින් දැනගත යුතුය. මහත්වූ දෙවි මිනිසුන් අතුරෙහි (තථාගතයන් වහන්සේ විසින්) මනාකොට ප්‍රකාශ කරන ලදී.

(පස්වන නගර සූත්‍රය නිමි.)