සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

7. මහා වර්ගය

10. සුසීම සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි, “කලන්දක නිවාප”යෙහිවූ වේළුවනයෙහි (හුණ වනයෙහි) වාසය කරනසේක.

“එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ (මිනිසුන් විසින්) සත්කාර කරන ලද්දේ, ගරුකාර කරන ලද්දේ, බුහුමන් කරන ලද්දේ, පුදන ලද්දේ වඳින ලද්දේ, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස සහ බෙහෙත් පිරිකර බොහෝ කොට ලබන්නේ වෙයි. භික්ෂු සංඝ තෙමේද (මිනිසුන් විසින්) සත්කාර කරන ලද්දේ, ගරුකාර කරන ලද්දේ, බුහුමන් කරන ලද්දේ, පුදන ලද්දේ, වඳින ලද්දේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස සහ බෙහෙත් පිරිකර බොහෝ කොට ලබන්නේ වෙයි. අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ වනාහි (මිනිසුන් විසින්) සත්කාර නොකරන ලද්දාහු. ගරුකාර නොකරන ලද්දාහු බුහුමන් නොකරන ලද්දාහු, නොපුදන ලද්දාහු, නොවදින ලද්දාහු, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස සහ බෙහෙත් පිරිකර නොලබන්නෝ වෙත්.

“එකල්හි වනාහි සුසීම නම් පරිබ්‍රාජක තෙම මහත්වූ පරිබ්‍රාජක පිරිස සමග රජගහනුවර වාසය කෙරෙයි. ඉක්බිති සුසීම පරිබ්‍රාජකයාගේ පිරිස සුසීම පරිබ්‍රාජකයාට මෙය කීවාහුය. “ඇවැත් සුසීමය යනු මැනවි. ඔබ ශ්‍රමණ ගෞතමයන් සමීපයෙහි බ්‍රහ්මචරියාවෙහි හැසිරෙනු මැනවි. ඔබ ධර්මය උගෙන අපට කියවනු මැනවි. ඒ ධර්මය අපි උගෙන, ගිහියන්ට කියන්නෙමු. මෙසේ අපිද, (මිනිසුන් විසින්) සත්කාර කරන ලද්දෝ, ගරුකාර කරන ලද්දෝ, බුහුමන් කරන ලද්දෝ, පුදන ලද්දෝ, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස සහ බෙහෙත් පිරිකර ලබන ලද්දෝ වෙමුයි” කියායි. “ඇවැත්නි, හොඳයයි” කියා සුසීම පරිබ්‍රාජකතෙම සිය පිරිසට උත්තරදී, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම යම්තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් හා සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත්, සිහිකටයුතුවූත්, කථාව කොට නිමවා, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ සුසීම පරිබ්‍රාජක තෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙය කීයේය. “ඇවැත් ආනන්දය, මම මේ ශාසනයෙහි බ්‍රහ්මචරියාවෙහි හැසිරීමට කැමැත්තෙමියි” කියායි. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම සුසීම නම් පරිබ්‍රාජකයා රැගෙන භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තෙක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මේ සුසීම පරිබ්‍රාජකතෙම මෙසේ කීයේය.

“ඇවැත් ආනන්දය, මම මේ ශාසනයෙහි බ්‍රහ්මචරියාවෙහි හැසිරීමට කැමැත්තෙමි” කියායි.

“ආනන්දය, එසේවීනම් සුසීම පැවිදි කරව්යයි” (වදාළ සේක.) සුසීම පරිබ්‍රාජකතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලැබීය. උපසම්පදාව ලැබීය.

“එකල්හි වනාහි බොහෝ භික්ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි රහත් ඵලය ප්‍රකාශ කරන ලදී. (කෙසේද?) ‘ජාතිය (ඉපදීම) ක්ෂය වූයේය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරනලදී. මේ ආත්මයෙහි කළයුතු අනිකක් නැතැයි දනිමු’ කියායි. ඇවැත් සුසීම තෙම වනාහි බොහෝ භික්ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි ‘ජාතිය (ඉපදීම) ක්ෂය වූයේය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරනලදී. මේ ආත්මයෙහි කළයුතු අනිකක් නැතැයි දනිමු’යි අර්හත්ඵලය ප්‍රකාශකරන ලදැයි ඇසීය. ඉක්බිති සුසීම තෙම ඒ භික්ෂූන් යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, ඒ භික්ෂූන් හා සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත්, සිහිකටයුතුවූත් කථාවකොට නිමවා, එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ ඇවැත් සුසීම තෙම වනාහි ඒ භික්ෂූන්ට මෙය කීයේය.

“ආයුෂ්මතුන් විසින් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි, ‘ජාතිය (ඉපදීම) ක්ෂයවූයේය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවන ලද්දේය. කළයුත්ත කරන ලද්දේය. මේ ආත්මයෙහි කළයුතු අනිකක් නැති බව දනිමුයි’ කියා රහත්ඵලය ප්‍රකාශ කරන ලද්දේය යනු සැබෑද?” “ඇවැත, එසේය. ආයුෂ්මත්නි, මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ, ඔබලා නානාප්‍රකාරවූ ඍද්ධිවිධි විශේෂයෙන් විඳින්නහුද? (කෙසේද?) එක් කෙනෙක්වී බොහෝ දෙනෙක් වන්නහුද? බොහෝ දෙනෙක්වී, එක්කෙනෙක් වන්නහුද? ප්‍රකට බවටත් අප්‍රකට බවටත් පැමිණෙන්නහුද? බිත්ති සරසද, ප්‍රාකාර සරසද, අහසේ යම්සේද, එසේ නොගැටෙමින් ගමන්කරහුද? දියෙහි මෙන් පොළොවෙහිද, කිමිදීම් මතුවීම් කරන්නහුද? පොළොවෙහි මෙන් දියෙහිද නොකිමිඳෙමින් යන්නහුද? පක්ෂියෙකු මෙන් අහසෙහි අරමිණිය ගොතාගෙන (හිඳගෙන) යන්නහුද? මෙසේ මහත් ඍද්ධි ඇති, මෙසේ මහත් අනුභාව ඇති, මේ සඳ හිරු දෙදෙන අතින් අල්ලන්නහුද? අතගාන්නහුද? බ්‍රහ්මලෝකය දක්වා කයින් තමන් වසඟ කරන්නහුද?” “ඇවැත, මෙය නොවේමය”

“ඇවැත්නි තවද මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ ඔබලා මිනිස් කණ ඉක්ම සිටින්නාවූ, පිරිසිදුවූ, දිවකණින් දෙවියන් පිළිබඳවූද, මිනිසුන් පිළිබඳවූද, දුරවූද, සමීපයෙහි වූද, දෙයාකාරවූ ශබ්දයන් අසන්නහුද?” “ඇවත, මෙය නොවේමය” “ඇවැත්නි, මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ, ඔබලා වනාහි අන්‍ය සත්වයින්ගේද, අන්‍ය පුද්ගලයින්ගේද සිත තමාගේ සිතින් පිරිසිඳ දන්නහුද? (කෙසේද?) රාග සහිත සිත රාග සහිත සිතයයි දන්නහුද? රාග රහිත සිත රාග රහිත සිතයයි දන්නහුද? ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතයයි දන්නහුද? ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතයයි දන්නහුද? මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දන්නහුද? මෝහ රහිත සිත මෝහ රහිත සිතයයි දන්නහුද? හැකුළුනු සිත හැකුළුනු සිතයයි දන්නහුද? විසුරුණු සිත විසුරුණු සිතයයි දන්නහුද? මහත් බවට පැමිණි සිත මහත් බවට පැමිණි සිතයයි දන්නහුද? මහත් බවට නොපැමිණි සිත මහත් බවට නොපැමිණි සිතයයි දන්නහුද? උසස් බවට පැමිණි සිත උසස් බවට පැමිණි සිතයයි දන්නහුද? උසස් බවට නොපැමිණි සිත උසස් බවට නොපැමිණි සිතයයි දන්නහුද? සංසිඳුනු සිත සංසිඳුනු සිතයයි දන්නහුද? නොසංසිඳුනු සිත නොසංසිඳුනු සිතයයි දන්නහුද? මිදුනු සිත මිදුනු සිතයයි දන්නහුද? නොමිදුනු සිත නොමිදුනු සිතයයි දන්නහුද?” “ඇවත, මෙය නොවේමය”. “ඇවැත්නි, තවද, මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ, ඔබලා නානාප්‍රකාරවූ, පෙර විසූ තැන් සිහි කරන්නහුද? හේ කවරේද? එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතලිහක්ද, ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත කල්පයන්ද, නොයෙක් විවර්ත කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද, අසවල් තැන උපන්නෙමි. (එහි) මෙනම් ඇත්තේ වීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක් විඳින්නෙක් වීමි. මෙබඳු ආයුෂ ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයේ, අසවල්තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙබඳු සැප දුක් විඳින්නෙක් වීමි. මෙබඳු ආයුෂ ඇත්තෙක් වීමි, ඒ මම එතැනින් චුතවී මේ මනුෂ්‍යලෝකයෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, නන්වැදෑරුම්වූ පෙරවිසූ කඳපිළිවෙළ සිහිකරන්නහුද?” “ඇවැත, මෙය නොවේමය”. “ඇවැත්නි, තවද, මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ, ඔබලා පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් සත්වයන් දක්නහුද? (කෙබඳු සත්වයින්ද?) චුතවන්නාවූද, උපදින්නා වූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනාවර්ණ ඇත්තාවූද, මනාවර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තා වූද, කර්මය පරිදි මියයන්නාවූ, සත්වයන් දන්නහුද? (කෙසේද) ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආර්යයන්ට දොස්කීවාහු, මිසදිටු ගත්තාහු, මිසදිටු ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන නිරයෙහි උපන්නාහුයයිද, මේ පින්වත් සත්වයෝ වනාහි කායසුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝසුචරිතයෙන් යුක්තවූවාහු ආර්යයන්ට දොස් නොකීවාහු සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු, සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන්වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපන්නාහුය මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි, දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනාවර්ණ ඇත්තාවූද, මනාවර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය අනුව මියගියාවූ සත්වයන් දන්නහුද?” “ඇවැත, මෙය නොවේමය” “ඇවැත්නි, තවද, මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඔබලා යම් ඒ ශාන්තවූ විමොක්ෂවූ රූපයන් ඉක්මවූ අරූප සම්පතීන් කයින් ස්පර්ශකොට, වාසය කරන්නහුද?”

“ඇවැත, මෙය නොවේමය.”

“ආයුෂ්මත්වරුනි, මෙහිදී මේ ධර්මයන්ට නොපැමිණීම ප්‍රකාශකිරීම සුදුසුය. ඇවැත්නි මෙය කෙසේ වන්නේද?”

“ඇවැත් සුසීමය අපි වනාහි ප්‍රඥාවෙන් මිදුනෝ වෙමු. (ශුෂ්කවිදර්ශකයෝ වෙමු) මම මේ ආයුෂ්මතුන් විසින් කෙටියෙන් කියන ලද්දාහුගේ අදහස විස්තර වශයෙන් නොදනිමි. යම්සේ මම මේ ආයුෂ්මතුන් කෙටියෙන් කියනලද කීමේ අදහස විස්තර වශයෙන් දැනගන්නෙම්ද එසේ මට ආයුෂ්මත්හු කියාදෙත්වා ඇවැත් සුසීමය නුඹ දැනගත්තෙහි හෝ වේවා. නුඹ දැන නොගත්තෙහි හෝ වේවා. එතකුදු වුවත් ප්‍රඥාවෙන් මිදුනෝ වෙමු (ශුෂ්කවිදර්ශකයෝ වෙමු)යි කීහ.

“ඉක්බිති ඇවැත් සුසීමතෙම හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි ගියේය. ගොස්, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ, ඇවැත් සුසීමතෙම වනාහි යම්තාක් ඒ භික්ෂූන් හා සමග කථා සල්ලාපයක් වූයේද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට කීයේය.

“සුසීමය, මුලින් වනාහි ධම්මට්ඨිති ඤාණය (විදර්ශනා ඤාණය) ඇතිවේ. පසුව නිර්වාණයෙහි ඤාණය (මාර්ග ඥානය) ඇතිවේයයි” වදාළ සේක.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ කොටින් දේශනා කරනලද දේශනාවේ අදහස මම විස්තර වශයෙන් නොදනිමි. ස්වාමීනි, යම්සේ මම මේ භාග්‍යවතුන් වහන්සේ කොටින් දේශනා කරනලද දේශනාවේ අදහස විස්තර වශයෙන් දැනගත්තෙම්ද එසේ මට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනසේක්වා” “සුසීමය, නුඹ දැනගත්තෙහි හෝ වේවා, නුඹ දැන නොගත්තෙහි හෝ වේවා. එතකුදු වුවත් මුලින් වනාහි ධම්මට්ඨිති ඤාණය (විදර්ශනා ඥානය) ඇතිවේ. පසුව නිර්වාණයෙහි ඥානය (මාර්ගඥානය) ඇතිවේයයි වදාළ සේක. සුසීමය, ඒ කිමැයි සිතන්නෙහිද?

“රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?”

“ස්වාමීනි, අනිත්‍ය වේ.”

“යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?”

“ස්වාමීනි, දුක් වේ.”

“යමක් වනාහි අනිත්‍ය නම් දුක් නම් වෙනස්වෙන ස්වභාව

ඇත්තේ නම් ‘එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි’ දැක්මට සුදුසුද?”

“ස්වාමීනි, එය සුදුසු නොවේමැයි”

“වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?”

“ස්වාමීනි, අනිත්‍ය වේ.”

“යමක් වනාහි අනිත්‍යනම්, එය දුක් හෝ සැප හෝ වේද?”

“ස්වාමීනි, දුක් වේ.”

“යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, වෙනස්වෙන ස්වභාව ඇත්තේ නම්, ‘එය මාගේය, එය මම වෙමි. එය මාගේ ආත්මයයි’ දැක්මට සුදුසුද?”

“ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.”

“සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?”

“ස්වාමීනි, අනිත්‍ය වේ.”

“යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?”

“ස්වාමීනි, දුක් වේ.”

“යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, වෙනස්වෙන ස්වභාව ඇත්තේ නම්, ‘එය මාගේය, එය මම වෙමි. එය මාගේ ආත්මයයි’

දැක්මට සුදුසුද?”

“ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.”

“සංස්කාර නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?”

“ස්වාමීනි, අනිත්‍ය වේ.”

“යමක් වනාහි අනිත්‍යනම්, එය දුක් හෝ සැප හෝ වේද?”

“ස්වාමීනි, දුක් වේ.”

“යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, වෙනස්වෙන ස්වභාව

ඇත්තේ නම්, ‘එය මගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි’ දැක්මට සුදුසුද?”

“ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.”

“විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?”

“ස්වාමීනි, අනිත්‍ය වේ.”

“යමක් වනාහි අනිත්‍යනම්, එය දුක් හෝ සැප හෝ වේද?”

“ස්වාමීනි, දුක් වේ.”

“යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, වෙනස්වෙන ස්වභාව ඇත්තේ නම්, ‘එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි’ දැක්මට සුදුසුද?”

“ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.”

“සුසීමය, මෙහිදී එනිසා අතීතවූද, අනාගතවූද, වර්තමාන වූද අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕළාරිකවූ හෝ සුඛුමවූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ යම් කිසි දුරවූ හෝ ළඟවූ හෝ යම්කිසි රූපයක් වේද, මේ සියලු රූපය මාගේ නොවේ. මේ රූපය මම නොවෙමි. මේ රූපය මාගේ ආත්මය නොවේ යයි මෙසේ මේ ඇතිසේ සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.

“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද අද්ධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕළාරිකවූ සුඛුමවූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ යම්කිසි දුරවූ හෝ ළඟවූ හෝ යම්කිසි වේදනාවක් වේද, මේ සියලු වේදනාව මාගේ නොවේ. මේ වේදනාව මම නොවෙමි. මේ වේදනාව මාගේ ආත්මය නොවේයයි, මෙසේ මෙය ඇතිසේ සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.

“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද අද්ධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ ඕළාරිකවූ හෝ සුඛුමවූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ යම්කිසි දුරවූ හෝ ළඟවූ හෝ යම්කිසි සංඥාවක් වේද, මේ සියලු සංඥාව මාගේ නොවේ. මේ සංඥාව මම නොවෙමි. මේ සංඥාව මාගේ ආත්මය නොවේයයි, මෙසේ මෙය ඇතිසේ සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.

“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අද්ධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕළාරිකවූ හෝ සුඛමවූ හෝ යම්කිසි දුරවූ හෝ ළඟවූ හෝ යම්කිසි සංඛාර වේද, මේ සියලු සංඛාර මාගේ නොවේ. මේ සංඛාර මම නොවෙමි, මේ සංඛාර මාගේ ආත්මය නොවේයයි, මෙසේ මෙය ඇතිසේ සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.

“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අද්ධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕළාරිකවූ හෝ සුඛුමවූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ යම්කිසි දුරවූ ළඟවූ හෝ යම්කිසි විඤ්ඤාණය වේද, මේ සියලු විඤ්ඤාණය මාගේ නොවේ. මේ විඤ්ඤාණය මම නොවෙමි. මේ විඤ්ඤාණය මාගේ ආත්මය නොවේයයි, මෙසේ මෙය ඇතිසේ සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.

“සුසීමය, මෙසේ දකින්නාවූ, ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්යශ්‍රාවකතෙම රූපයන්හිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයන්හිද කලකිරෙයි. විඤ්ඤාණයන්හිද කලකිරෙයි. කලකිරුනේ නො ඇලෙයි. නො ඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේයයි නුවණ ඇතිවෙයි. ජාතිය (ඉපදීම) ක්‍ෂයවූයේය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමකරන ලද්දේය. කළයුතු දේ කරන ලද්දේය. මේ ආත්මයෙහි කළයුතු අනිකක් නැත්තේ යයි දැන ගනියි.

“සුසීමය, ජාතිය (ඉපදීම) නිසා ජරාමරණය ඇතිවේයයි (නුඹ) දන්නෙහිද?” “එසේයි ස්වාමීනි,” “සුසීමය, භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේයයි දන්නෙහිද?” “එසේය ස්වාමීනි,” “සුසීමය, උපාදානය නිසා භවය ඇතිවේයයි දන්නෙහිද?” “එසේය ස්වාමීනි” “සුසීමය, තණ්හාව නිසා උපාදානය ඇති වේයයි දන්නෙහිද”? “එසේය ස්වාමීනි” “සුසීමය, වේදනාව නිසා තණ්හාව ඇතිවේයයි දන්නෙහිද?” “එසේය ස්වාමීනි” “සුසීමය, ස්පර්ශය නිසා වේදනාව ඇතිවේයයි දන්නෙහිද?” “සුසීමය, සළායතනයන් නිසා ස්පර්ශය ඇතිවේයයි දන්නෙහිද?” “සුසීමය, නාමරූපය නිසා සළායතනයන් ඇතිවේයයි දන්නෙහිද?” සුසීමය, විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේයයි දන්නෙහිද?” සුසීමය, සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේයයි දන්නෙහිද? සුසීමය, අවිජ්ජාව නිසා සංස්කාරයන් ඇතිවේයයි දන්නෙහිද?” “එසේය ස්වාමීනි”

“සුසීමය, ජාතිය (ඉපදීම) නැතිවීමෙන් (නිරෝධයෙන්) ජරාමරණය නැතිවේයයි (නුඹ) දන්නෙහිද?” “එසේය ස්වාමීනි” “සුසීමය, භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවේයයි දන්නෙහිද? සුසීමය උපාදානය නැතිවීමෙන් භවය නැතිවේයයි දන්නෙහිද? සුසීමය, තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවේයයි දන්නෙහිද? සුසීමය, වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවේයයි දන්නෙහිද? සුසීමය, ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවේයයි දන්නෙහිද? සුසීමය, සළායතනයන් නැතිවීමෙන් ස්පර්ශය නැතිවේයයි දන්නෙහිද? සුසීමය, නාමරූපය නැතිවීමෙන් සළායතනයන් නැතිවේයයි දන්නෙහිද? සුසීමය, විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවේයයි දන්නෙහිද? සුසීමය, සංස්කාරයන් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේයයි දන්නෙහිද? සුසීමය, අවිජ්ජාව නැතිවීමෙන් සංස්කාර නැතිවේයයි දන්නෙහිද?” “එසේය ස්වාමීනි”

“තවද, සුසීමය, මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ, නුඹ නානාප්‍රකාරවූ ඍද්ධිවිධි විශේෂයෙන් විඳින්නෙහිද? (කෙසේද) එක් කෙනෙක්වී, බොහෝ දෙනෙක් වෙන්නෙහිද? බොහෝ දෙනෙක්වී එක් කෙනෙක් වෙන්නෙහිද? ප්‍රකට බවටත් අප්‍රකට බවටත් පැමිණෙන්නෙහිද? බිත්ති සරසද, ප්‍රාකාර සරසද, අහසේ යම්සේද එසේ නොගැටෙමින් ගමන් කරහිද? දියෙහි මෙන් පොළොවෙහිද, කිමිදීම්, මතුවීම් කරහිද? පොළොවෙහි මෙන් දියෙහිද, නොකිඳෙමින්යෙහිද? පක්ෂියෙකුමෙන් අහසෙහි අරමිණිය ගොතාගෙන (හිඳගෙන) යන්නෙහිද? මෙසේ මහත් ඍද්ධි ඇති, මෙසේ මහත් අනුභාව ඇති, මේ සඳ හිරු දෙදෙන අතින් අල්ලන්නෙහිද? අතගාන්නෙහිද? බ්‍රහ්මලෝකය දක්වා කයින් තමන් වසඟ කෙරෙහිද?” “ස්වාමීනි, මෙය නොවේමය.”

“සුසීමය, තවද, මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ, නුඹ මිනිස් කණ ඉක්ම සිටින්නාවූ පිරිසිදුවූ, දිව කණින් දෙවියන් පිළිබඳවූද, මිනිසුන් පිළිබඳවූද, දුරවූද, ළඟවූද, දෙයාකාරවූ ශබ්දයන් අසහිද?” “ස්වාමීනි, මෙය නොවේමය” “සුසීමය, තවද, මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ නුඹ අන්‍ය සත්වයින්ගේද, අන්‍යපුද්ගලයන්ගේද, සිත තමාගේ සිතින් පිරිසිඳ දන්නෙහිද? (කෙසේද?) රාගසහිත සිත රාග සහිත සිතයයි දන්නෙහිද? රාග රහිත සිත රාග රහිත සිතයයි දන්නෙහිද? ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතයයි දන්නෙහිද? ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතයයි දන්නෙහිද? මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දන්නෙහිද? මෝහ රහිත සිත මෝහ රහිත සිතයයි දන්නෙහිද? හැකුළුණු සිත හැකුළුණු සිතයයි දන්නෙහිද? විසුරුණු සිත විසුරුණු සිතයයි දන්නෙහිද? මහත් බවට පැමිණි සිත මහත් බවට පැමිණි සිතයයි දන්නෙහිද? මහත් බවට නොපැමිණි සිත මහත් බවට නොපැමිණි සිතයයි දන්නෙහිද? උසස් බවට පැමිණි සිත උසස් බවට පැමිණි සිතයයි දන්නෙහිද? උසස් බවට නොපැමිණි සිත උසස් බවට නොපැමිණි සිතයයි දන්නෙහිද? එකඟවූ සිත එකඟවූ සිතයයි දන්නෙහිද? එකඟ නොවූ සිත එකඟ නොවූ සිතයයි දන්නෙහිද? (කෙලෙසුන්ගෙන්) මිදුණු සිත (කෙලෙසුන්ගෙන්) මිදුනු සිතයයි දන්නෙහිද? (කෙලෙසුන්ගෙන්) නොමිදුනු සිත (කෙලෙසුන්ගෙන්) නොමිදුනු සිතයයි දන්නෙහිද?” “ස්වාමීනි, මෙය නොවේමය.”

“සුසීමය, තවද, මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ නුඹ නානාප්‍රකාරවූ, පෙර විසූ තැන් සිහි කෙරෙහිද? හේ කවරේද? එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති හතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශවන) කල්පයන්ද, නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද, අසවල් තැන උපන්නෙමි. එහි මෙනම් ඇත්තේවීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු සැප දුක් වින්දෙමි. ඒ මම එයින් චුතව, අසවල් තැන උපන්නෙමි. එතැන්හිද, මෙසේ නම් ඇත්තේවීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේවීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙබඳු සැප දුක් විඳින්නෙක් වීමි. මෙබඳු ආයුෂ ඇත්තෙක් වීමි. ඒ මම එතැනින් චුතව මේ මනුෂ්‍ය භවයෙහි උපන්නෙමියි. මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, නොයෙක් ආකාරවූ පෙරවිසූ කඳ පිළිවෙළ සිහිකරහිද?” “ස්වාමීනි මෙය නොවේමය.”

“සුසීමය, තවද, මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ, නුඹ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි, දිවැසින් සත්වයින් දක්නෙහිද? (කෙබඳු සත්වයින්ද?) චුත වන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය පරිදි මිය ගියාවූ සත්වයන් දකිමි. ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආර්යයන්හට දොස් කීවාහු, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහු යයිද, මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක්සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, ආර්යයන් හට දොස් නොකීවාහු, සම්‍යක් දෘෂ්ටි (හරිදැකීම්) ඇත්තාහු, සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ගලෝකයෙහි උපදින්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස් ඉක්මවා සිටි, දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය අනුව මියගියාවූ සත්වයන් දන්නෙහිද?” “ස්වාමිනි, මෙය නොවේමය.”

“සුසීමය, තවද, මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ, නුඹ යම් ඒ ශාන්තවූ, අරූපාවචර ද්ධ්‍යාන විමොක්ෂයෙන් රූපයන් ඉක්මවා, ඔවුන් කයින් ස්පර්ශකොට, වාසය කරන්නෙහිද?’ “ස්වාමීනි, මෙය නොවේමය” “සුසීමය, මෙහිදී මෙය කෙසේ දැයි මේ ධර්මයන්ට නොපැමිණීම ප්‍රකාශ කිරීමයි.”

“ඉක්බිති ඇවැත් සුසීමතෙම භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා දෙක ළඟ හිසින් වැටී, භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ‘ස්වාමීනි, බාලයකුසේ, මුළාවූවෙකුසේ, අදක්ෂයකුසේ, වැරැද්ද මා ඉක්මවා ගියේය. ඒ මම මෙසේ මනාකොට දේශනා කරන ලද, ශාසනයෙහි දහම් හොරෙක්ව පැවිදිවූයේ වෙමි. ස්වාමීනි, ආයති සංවරය පිණිස (මත්තෙහි සංවරවීම පිණිස) භාග්‍යවතුන් වහන්සේ ඒ මාගේ වරද, වරද වශයෙන් පිළිගන්නා සේක්වා”. “සුසීමය, එසේනම් බාලයකුසේ මුළාවූවෙකුසේ, අදක්ෂයකුසේ වරද, නුඹ ඉක්මවා ගියේය. ඒ නුඹ මෙසේ මනාකොට දේශනා කරන ලද, ශාසනයෙහි දහම් හොරෙක්ව පැවිදිවූයෙහිය.

“සුසීමය, යම්සේ වනාහි අපරාධකාරී සොරෙකු අල්ලා ගෙනවුත් රජහට දක්වන්නාහුය. (කෙසේද?) ‘දේවයන්වහන්ස, මේ අපරාධකාරී සොරාය. මොහුට යම් දඬුවමක් කැමැත්තෙහි නම් ඒ දඬුවම පණවනු මැනව,’ කියායි. ඒ මොවුන්ට රජතෙම මෙසේ කියන්නේය. පින්වත්නි, යව්, මේ පුරුෂයා දැඩි ලනුවකින් පිටිතලහයා (දෑත් පිටුපසට කොට) දැඩිකොට බැඳ, හිස මුඩුකොට, දැඩි හඬින් යුත් පණාබෙරින් යුක්තව වීදියෙන් වීදියට, සතරමං සංදියෙන් සතරමංසන්දියට පමුණුවා, දකුණු දොරින් නික්මවා, නගරයේ දකුණු පැත්තෙහිදී හිස සිඳිව්” යයි කියායි. ඒ මේ රාජ පුරුෂයෝ දැඩි ලනුවෙන් පිටිතලහයා (දෑත් පිටුපසට කොට) දැඩිකොට බැඳ, හිස මුඬුකොට, දැඩිහඬින් යුත් පණා බෙරින් යුක්තව’ වීදියෙන් වීදියට, සතරමංසන්දියෙන් සතරමංසන්දියට පමුණුවා, දකුණු දොරින් නික්මවා, නගරයේ, දකුණු පැත්තෙහිදී, හිස සිඳින්නාහුය.

“සුසීමය, ඒ ගැන කෙසේ සිතන්නෙහිද? තවද, ඒ පුරුෂතෙම ඒ හේතුවෙන් දුක් දොම්නසක් විඳින්නෙහිද?” “එසේය, ස්වාමීනි” “සුසීමය, ඒ පුරුෂතෙම වනාහි ඒ හේතුවෙන් යම් දුක් දොම්නසක් විඳියිද, මෙසේ මනාකොට දේශනා කරන ලද, ශාසනයෙහි දහම් හොරෙකුගේ යම් පැවිද්දක් වේද, මෙය ඊට වඩා අධික දුක් විපාක ඇත්තේද කටුක විපාක ඇත්තේද වේ. තවද, දුගතියෙහි ඉපදීම පිණිසද හේතුවෙයි.

“සුසීමය, යම් හෙයකින් වනාහි නුඹ වරද, වරද වශයෙන් දැන, ධර්මය සේ පිළියම් කෙරෙහිද, නුඹගේ ඒ වරද අපි පිළිගනිමු. සුසීමය, යමෙක් වරද, වරද වශයෙන් දැක, ධර්මයට අනුව පිළියම් කෙරෙයිද, ආයති සංවරයටත් (මත්තෙහි සංවරවීමටත්) පැමිණෙයිද, මෙය ආර්ය විනයෙහි වැඩීම වන්නේය.”

(දසවන සුසීම සූත්‍රය නිමි.)

සත්වන මහා වර්ගයයි.

අස්සුතවන්තු සූත්‍ර දෙකක් වදාරන ලදී. පුත්‍ර මාංශ සූත්‍රයයි තවෙකක් වදාරන ලදී. රාග සූත්‍රයද නගර සූත්‍රයද, සම්මසන සූත්‍රයද, නළකලාපිය සූත්‍රයද, කොසම්බි සූත්‍රයද, උපයන්ති සූත්‍රයද, සුසීම සූත්‍රය දැයි මේ වර්ගයෙහි සූත්‍ර දහයක් ඇත්තේය.