සංයුත්තනිකායො

නිදාන වර්ගය

3. ධාතු සංයුත්තය

1. නානත්ත වර්ගය

1. ධාතු සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, මම තොපට ධාතූන්ගේ නානත්වය දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමියි” වදාළ සේක. “එසේය ස්වාමීනි,” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක.

“මහණෙනි, ධාතූන්ගේ නානත්වය (නොයෙක් බව) නම් කවරේද? චක්ඛුධාතුව, රූප ධාතුව, චක්ඛුවිඤ්ඤාණ ධාතුව, සොත ධාතුව, සද්දධාතුව, සොත විඤ්ඤාණ ධාතුව, ඝාන ධාතුව, ගන්ධධාතුව, ඝාන විඤ්ඤාණ ධාතුව, ජිව්හා ධාතුව, රස ධාතුව, ජිව්හා විඤ්ඤාණ ධාතුව, කාය ධාතුව, ඵොට්ඨබ්බ ධාතුව, කාය විඤ්ඤාණ ධාතුව, මනොධාතුව, ධම්මධාතුව සහ මනොවිඤ්ඤාණ ධාතුවයි. මහණෙනි, මෙය ධාතූන්ගේ නානත්වයයි කියනු ලැබේ.”

(පළමුවෙනි ධාතු සූත්‍රය නිමි.)