සංයුත්තනිකායො

නිදාන වර්ගය

3. ධාතු සංයුත්තය

2. සත්තධාතු වර්ගය

1. සත්තිම සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, මේ ධාතූහු සත්දෙනෙක් වෙති. ඒ ධාතු තුමූ කවරේද? ආභාධාතුව (ආලෝක කසිණයෙන් උපදවා ගත් ධ්‍යානය) සුභා ධාතුව, (සුභකසිණයන් ගෙන් උපදවාගත් ධ්‍යානය) ආකාසානඤ්චායතන ධාතුව, විඤ්ඤාණඤ්චායතන ධාතුව, ආකිඤ්චඤ්ඤායතන ධාතුව, නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධාතුව සහ සඤ්ඤාවෙදයිත නිරෝධ ධාතුවයි. මහණෙනි, මොවුහු වනාහි සත්ත ධාතූහු නම් වෙත්.

මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, යම් මේ ආභාධාතුවක් වේද, යම් සුභාධාතුවක් වේද, යම් ආකාසානඤ්චායතන ධාතුවක් වේද, මේ යම් විඤ්ඤාණඤ්චායතන ධාතුවක් වේද, යම් මේ ආකිඤ්චඤ්ඤායතන ධාතුවක් වේද, යම් නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධාතුවක් වේද, යම් සඤ්ඤාවේදයිත නිරෝධ ධාතුවක් වේද, ස්වාමීනි, මේ ධාතූහු වනාහි කුමක් නිසා ප්‍රකට වෙත්ද”?

“මහණ, යම් මේ ආභාධාතුවක් වේද, මේ ධාතුව අන්ධකාරය නිසා ප්‍රකට වෙයි. මහණ, යම් මේ සුභාධාතුවක් වේද, මේ ධාතුව අසුභය නිසා ප්‍රකට වෙයි. මහණ, යම් මේ ආකාසානඤ්ඤායතන ධාතුවක් වේද, මේ ධාතුව රූපය නිසා ප්‍රකට වෙයි.”

“මහණ, යම් මේ විඤ්ඤාණඤ්චායතන ධාතුවක් වේද, මේ ධාතුව ආකාසානඤ්චායතනය නිසා ප්‍රකට වෙයි. මහණ, යම් මේ ආකිඤ්චඤ්ඤායතන ධාතුවක් වේද, මේ ධාතුව විඤ්ඤාණඤ්චායතනය නිසා ප්‍රකට වෙයි.

“මහණ, යම් මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධාතුවක් වේද, මේ ධාතුව ආකිඤ්චඤ්ඤායතනය නිසා ප්‍රකට වෙයි. මහණ, යම් මේ සඤ්ඤාවේදයිත නිරෝධ ධාතුවක් වේද, මේ ධාතුව නිරෝධය (නොපැවැත්ම) නිසා ප්‍රකට වෙයි.

“ස්වාමීනි, යම් මේ ආභාධාතුවක් වේද, යම් සුභා ධාතුවක් වේද, යම් ආකාසානඤ්චායතන ධාතුවක් වේද, යම් විඤ්ඤාණඤ්චායතන ධාතුවක් වේද, යම් ආකිඤ්චඤ්ඤායතන ධාතුවක් වේද, යම් නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධාතුවක් වේද, යම් සඤ්ඤාවේදයිත නිරෝධ ධාතුවක් වේද, ස්වාමීනි, මේ ධාතූන්ට වනාහි කවර සමාපත්තියක් වශයෙන් පැමිණිය යුත්තේද”?

“මහණ, යම් මේ ආභාධාතුවක් වේද, යම් සුභාධාතුවක් වේද, යම් ආකාසානඤ්චායතන ධාතුවක් වේද, යම් විඤ්ඤාණඤ්චායතන ධාතුවක් වේද, යම් ආකිඤ්චඤ්ඤායතන ධාතුවක් වේද, මේ ධාතූන්ට සඤ්ඤාසමාපත්ති වශයෙන් පැමිණිය යුත්තේය.

“මහණ, යම් මේ නේවසඤ්ඤානාසඤ්ඤායතන ධාතුවක් වේද, මේ ධාතුවට සංඛාරාවසේස සමාපත්ති වශයෙන් පැමිණිය යුත්තේය.

“මහණ, යම් මේ සඤ්ඤාවේදයිත නිරෝධ ධාතුවක් වේද, මේ ධාතුවට නිරෝධ සමාපත්ති වශයෙන් පැමිණිය යුත්තේය.

(පළමුවෙනි සත්තිම සූත්‍රය නිමි.)