සංයුත්තනිකායො

නිදාන වර්ගය

4. අනමතග්ග සංයුත්තය

1. ප්‍රථම වර්ගය

1. තිණකට්ඨ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි, කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී තණ්හාවෙන් බැඳී ගමන් කරන්නාවූ සැරිසරන්නාවූ සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග (කෙළවර) ඇත්තේය. පූර්ව කෙළවරක් නොපෙනෙන්නේය.

“මහණෙනි, යම්සේ වනාහි පුරුෂයෙක් මේ දඹදිව යම්තාක් තණ, ලී දඬු, අතු සහ කොළ වේද, (ඒ සියල්ල) කපා එක් තැනකට රැස්කරන්නේ වේද, රැස්කොට සතරඟුල් සතරඟුල් කෑලි කපා ‘මේ මාගේ මවය. මේ මාගේ මවුගේ මවය’යි කියා තබන්නේ වේද. මහණෙනි, ඒ පුරුෂයාගේ මවුගේ මවුවරු කෙළවරක් නොවෙත්. එහෙත් මේ දඹදිව තණ, ලී දඬු, අතු, කොළ, කෙළවර වන්නේය. අවසාන වන්නේය. ඊට හේතුව කවරේද?

“මහණෙනි, අවිජ්ජාවෙන් වැසුනු තණ්හාවෙන් බැඳුණු ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ සත්වයාගේ මේ සංසාරය නොදක්නා ලද, කෙළවර ඇත්තේ වේද, පූර්ව කෙළවරක් නොපෙනෙයිද එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් බොහෝ කලක් මුළුල්ලෙහි දුක් අනුභව කරනලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී සොහොන් බිම තර කරන ලදී.

‘මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”

(පළමුවෙනි තිණකට්ඨ සූත්‍රය නිමි.)