සංයුත්තනිකායො

නිදාන වර්ගය

4. අනමතග්ග සංයුත්තය

2. දෙවැනි වර්ගය

2. සුඛිත සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන් කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, (අලංකාරයෙන්) සැදුම් ලද්දාවූද, යම් සුඛිතවූවෙකු (තොපි) දක්නහුද, මෙහිදී අප විසිනුත් මේ දීර්ඝ කාලයෙහිදී, මෙවැනි තත්වයක් විඳිනලදැයි නිෂ්ඨාවට (නිගමනයට) පැමිණිය යුතුයි.

“ඊට හේතුව කවරේද?”

“මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේවේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නොඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.

(දෙවෙනි සුඛිත සූත්‍රය නිමි.)