සංයුත්තනිකායො

නිදාන වර්ගය

4. අනමතග්ග සංයුත්තය

2. දෙවැනි වර්ගය

3. තිංස සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනයෙහි’ (හුනවනයෙහි) වාසය කරනසේක. ඉක්බිති සියල්ලන්ම ආරණ්‍යකවූ, සියල්ලන්ම පිණ්ඩපාතිකවූ සියල්ලන්ම පාංසුකූලිකවූ, සියල්ලන්ම තේචීවරිකවූ, සියල්ලන්ම සංයෝජන සහිතවූ, (පෘථග්ජනවූ) තිසක් පමණවූ, පාවාරට වැසි භික්ෂූහු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට නමස්කාරකොට, එක් පැත්තක හුන්නාහුය.

“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මේ සිත පහළවිය. ‘මේ තිසක් පමණ පාව්‍යෙයක භික්ෂූහු වනාහි සියල්ලෝම ආරණ්‍යක වූවාහුය. සියල්ලෝම පිණ්ඩපාතිකයහ. සියල්ලෝම පාංසුකූලිකයහ. සියල්ලෝම තේචීවරිකයහ. සියල්ලෝම සංයෝජන සහිතයහ. යම්සේ මේ ආසනයෙහිදීම මොවුන්ගේ සිත් (තණ්හාදී) ආශ්‍රවයන්ගෙන් දැඩිකොට නොගෙන ඉන් මිදෙත්ද (රහත්වෙත්ද) එසේ මම මොවුන්ට ධර්මය දේශනා කරන්නෙම් නම් ඉතා හොඳය’ කියායි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.

“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන්කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මේ දීර්ඝ කාලයෙහි ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ, ගැලුවාවූ යම් ලෙයක් වේද, සතර මහා සාගරයෙහි යම් දියක් වේද, මේ දෙකින් කුමක් වනාහි ඉතා අධික වේද?”

“ස්වාමීනි, අපි වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද පරිදි ධර්මය දනිමු. ස්වාමීනි, මේ දීර්ඝ කාලයෙහි ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, අපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.

“මහණෙනි, යහපති! යහපති!! මහණෙනි, මා විසින් දේශනා කරනලද ධර්මය තොපි ඒ ආකාරයෙන් දන්නාහුය. මහණෙනි, මේ දීර්ඝකාලයෙහි ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය. මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි ගොන්ව ඉපදුණාවූ තොපගේ හිස් සිඳීමෙන් ගැලු යම් ලෙයක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහාසාගරයෙහි ජලය අධික නොවේමය.

“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි මීගොන්ව ඉපද තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය.

“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි එළුව ඉපද තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය.

“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි බැටළුව ඉපද තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය.

“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි මුවව ඉපද තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය.

“මහණෙනි, බොහෝකාලයක් මුළුල්ලෙහි සූකරව (හූරුව) ඉපද තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය.

“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි කුකුළුව ඉපද තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය.

“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි ගම්පහරණ සොරුයයි අල්වාගෙන තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය.

“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි මංපහරණ සොරුයයි (මංකොල්ල කාරයෝයයි) අල්ලාගෙන තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.

“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි අන් අඹු සොරුයයි අල්ලාගෙන තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.

“ඊට හේතුව කවරේද?

“මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේවේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”

භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක. සතුටු සිත් ඇත්තාවූ, ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ ඒ දේශනාවට සතුටුවූහ. මේ දේශනාව පවත්වන කල්හි වනාහි තිසක් පමණවූ පාවෙය්‍යක භික්ෂූන්ගේ සිත් (තණ්හාදී) ආශ්‍රවයන්ගෙන් දැඩිකොට නොගෙන ඉන් මිදුනාහුය.

(තුන්වෙනි තිංස සූත්‍රය නිමි.)