සංයුත්තනිකායො

නිදාන වර්ගය

4. අනමතග්ග සංයුත්තය

2. දෙවැනි වර්ගය

10. වේපුල්ල සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ “ගිජ්ඣකූට” පර්වතයෙහි වාසය කරනසේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන්හට කථාකළ සේක. ‘ස්වාමීනි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක.

“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන් කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, පෙරවූවක් කියමි. එනම්:- මේ “වේපුල්ල” පර්වතයට “පාචීන වංස” යන නාමයක් ඇතිවිය. මහණෙනි, ඒ කාලයෙහි වනාහි මෙහි මිනිසුන්ට “තිවර” යන නාමය ඇතිවිය. මහණෙනි, “තිවර” මිනිසුන්ගේ ආයුෂ ප්‍රමාණය අවුරුදු හතළිස් දහසක්වූයේය. මහණෙනි, “තිවර” නම් ඒ මිනිස්සු “පාචීන වංස” නම් පර්වතයට සිව් දිනකින් නගිති. සිව් දිනකින් බසිති.

“මහණෙනි, ඒ කාලයෙහි වනාහි භාග්‍යවත්වූ, අර්හත්වූ “කකුසඳ” නම් සම්මාසම්බුදු රජාණන් වහන්සේ ලෝකයෙහි උපන් සේක. මහණෙනි, භාග්‍යවත්වූ, අර්හත්වූ “කකුසඳ” සම්මා සම්බුදු රජාණන් වහන්සේට “විධූරය” “සඤ්ජීවය” යන අග්‍රවූ, භද්‍රවූ, ශ්‍රාවක දෙනමක් වූයේය. මහණෙනි, බලව් මේ පර්වතයාගේ ඒ නාමයද අතුරුදන් විය. ඒ මිනිස්සුද කාලක්‍රියා කළාහුය. ඒ භාග්‍යවතුන් වහන්සේද පිරිනිවන් පෑ සේක. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ සැනසීම් රහිතයහ. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන් කෙරෙන් මිදීමට සුදුසුමය.

“මහණෙනි, පෙරවූවක් කියමි. එනම්:- මේ “වේපුල්ල” පර්වතයට “වංකක” යන නාමය ඇතිවිය. මහණෙනි, ඒ කාලයෙහි වනාහි මෙහි මිනිසුන්ට “රෝහිතස්ස” යන නාමය ඇතිවිය. මහණෙනි, “රෝහිතස්ස” නම් මිනිසුන්ගේ ආයුෂ ප්‍රමාණය අවුරුදු තිස් දහසක් වූයේය. මහණෙනි, “රෝහිතස්ස” නම් මිනිස්සු “වංකක” නම් පර්වතයට තෙදිනකින් නගිති. තෙදිනකින් බසිති.

“මහණෙනි, ඒ කාලයෙහි වනාහි, භාග්‍යවත්වූ අර්හත්වූ, “කෝනාගමන” නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝකයෙහි උපන්සේක. මහණෙනි, භාග්‍යවත්වූ, අර්හත්වූ “කෝනාගමන” නම් සම්මාසම්බුදු රජාණන් වහන්සේට “භිය්‍යය”, “සුත්තරය” යන අග්‍රවූ, භද්‍රවූ, ශ්‍රාවක දෙනමක් වූයේය. මහණෙනි, බලව් මේ පර්වතයාගේ ඒ නාමයද අතුරුදන් වීය. ඒ මිනිස්සුද කාලක්‍රියා කළාහුය. ඒ භාග්‍යවතුන් වහන්සේද පිරිනිවන් පෑ සේක. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ සැනසීම් රහිතය. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන් කෙරෙන් මිදීමට සුදුසුමය.

“මහණෙනි, පෙරවූවක් කියමි. එනම්:- මේ “වේපුල්ල” පර්වතයට “සුඵස්ස” යන නාමය ඇතිවිය. මහණෙනි, ඒ කාලයෙහි වනාහි මේ මිනිසුන්ට “අප්පිය” යන නාමය ඇතිවිය. මහණෙනි, ‘අප්පිය’ නම් මිනිසුන්ගේ ආයුෂ ප්‍රමාණය අවුරුදු විසිදහසක් වූයේය. මහණෙනි, “අප්පිය” නම් මිනිස්සු “සුඵස්ස” නම් පර්වතයට දෙදිනකින් නගිති. දෙදිනකින් බසිති.

“මහණෙනි, ඒ කාලයෙහි වනාහි, භාග්‍යවත්වූ, අර්හත්වූ “කස්සප” නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝකයෙහි උපන්සේක. මහණෙනි, භාග්‍යවත්වූ, අර්හත්වූ, “කස්සප” නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේට තිස්සය, භාරද්වාජය යන අග්‍රවූ භද්‍රවූ, ශ්‍රාවක දෙනමක් වූයේය. මහණෙනි, බලව් මේ පර්වතයාගේ ඒ නාමයද අතුරුදන් විය. ඒ මිනිස්සුද කාලක්‍රියා කළාහුය. ඒ භාග්‍යවතුන් වහන්සේද පිරිනිවන් පෑ සේක, මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ සැනසීම් රහිතයහ. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන් කෙරෙන් මිදීමට සුදුසුමය.

“මහණෙනි, මේ කාලයෙහි වනාහි මේ “වේපුල්ල” පර්වතයට “වේපුල්ල” පර්වතයයි කියාම නාමය ඇතිවිය. මහණෙනි, මේ කාලයෙහි මෙහි මිනිසුන්ට “මාගධක” යන නාමය ඇතිවිය. මහණෙනි, මෙකල මිනිසුන්ගේ ආයුෂ ප්‍රමාණය අල්පය. ස්වල්පය, ටිකය. යමෙක් බොහෝ කාලයක් ජීවත්වේ නම් හෙතෙම අවුරුදු සියයක් හෝ ඊට ස්වල්පයක් වැඩිය හෝ ජීවත් වෙයි. මහණෙනි, “මාගධක” නම් මිනිස්සු “වේපුල්ල” නම් පර්වතයට මොහොතකින් නගිති. මොහොතකින් බසිති.”

“මහණෙනි, මේ කාලයෙහි වනාහි භාග්‍යවත්වූ අර්හත්වූ, සම්‍යක්සම්බුද්ධවූ මම ලෝකයෙහි උපන්නේ වෙමි. මහණෙනි, මට වනාහි “සාරිපුත්තය, මොග්ගල්ලානය” යන අග්‍රවූ, භද්‍රවූ, ශ්‍රාවක දෙනමක් වන්නේය, මහණෙනි, මේ ඒ කාලයයි. මේ පර්වතයාගේ මේ නමද අතුරුදහන් වන්නේය. මේ මිනිස්සුද කාලක්‍රියා කරන්නාහුය. මමද පිරිනිවන් පාන්නෙමි. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ සැනසීම් රහිතයහ. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන් කෙරෙන් මිදීමට සුදුසුමය. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාරා, අනතුරුව මේ ගාථාවන් දේශනාකළ සේක.

“තිවරයන්හට පාචීනවංස නම් පර්වතය විය. රොහිතස්සයන්ට වංකක නම් පර්වතය විය. අප්පියයන්හට සුඵස්ස නම් පර්වතය විය. මාගධකයන්හට වේපුල්ල නම් පර්වතය විය.”

“සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයහ. ඉපදීම හා බිඳීම ස්වභාව කොට ඇත්තාහ. ඉපද නිරුද්ධ වෙත්. ඔවුන්ගේ සංසිඳීම සැප වන්නේය.

(දසවෙනි වේපුල්ල සූත්‍රය නිමි.)

දෙවෙනි වර්ගයයි.

දුග්ගත සූත්‍රය, සූඛිත සූත්‍රය, තිංස සූත්‍රය, මාතා සූත්‍රය, පිතු සූත්‍රය, භාතු සූත්‍රය, භගිනි සූත්‍රය, පුත්ත සූත්‍රය, ධීතු සූත්‍රය සහ වේපුල්ල සූත්‍රයයි කියා මේ වර්ගයෙහි සූත්‍ර දහයකි.

අනමතග්ග සංයුත්තය නිමි.