සංයුත්තනිකායො

නිදාන වර්ගය

4. අනමතග්ග සංයුත්තය

1. ප්‍රථම වර්ගය

4. ඛීර සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි, කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන් කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේය. මුල කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මේ දීර්ඝ කාලය තුළ ඇවිදින ලද හැසිරෙන ලද, තොප විසින් පානය කරන ලද යම් මව් කිරක් වේද, සතර මහා සාගරයෙහි යම් දියක් වේද, මේ දෙකින් කුමක් වනාහි ඉතා අධික වේද?

“ස්වාමීනි, අපි වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද පරිදි ධර්මය දනිමු, ස්වාමීනි, අප විසින් මේ දීර්ඝ කාලය තුළ ඇවිදින ලද හැසිරෙන ලද පානය කරන ලද යම් මව් කිරක් වේද, මෙයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය.”

“මහණෙනි, යහපති! යහපති!! මහණෙනි, මා විසින් දේශනා කරන ලද ධර්මය තොපි එසේ දන්නහුය. මහණෙනි, මේ දීර්ඝ කාලයෙහි ඇවිදින ලද හැසිරෙන ලද තොප විසින් පානය කරන ලද, යම් මව් කිරක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය. ඊට හේතුව කවරේද?

“මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරනලදී. සොහොන් බිම තරකරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”

(සතරවෙනි ඛීර සූත්‍රය නිමි.)