සංයුත්තනිකායො

නිදාන වර්ගය

4. අනමතග්ග සංයුත්තය

1. ප්‍රථම වර්ගය

5. පබ්බත සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.

ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, කල්පය වනාහි කොතරම් දීර්ඝවේද?”

“මහණෙනි, කල්පය වනාහි දීර්ඝය. එය මෙතෙක් අවුරුදුය කියා හෝ මෙතෙක් අවුරුදු සියයක්ය කියා හෝ මෙතෙක් අවුරුදු දහසක්ය කියා හෝ මෙතෙක් අවුරුදු ලක්ෂයක්ය හෝ කියා ගණන් කිරීමට පහසු නොවේ. “ස්වාමීනි, උපමාවක් දේශනා කිරීමට හැක්කේද?”

“මහණ, හැකියයි” භාග්‍යවතුන්වහන්සේ වදාළසේක. “මහණ, යම්සේ වනාහි දිගින් යොදුනක් ඇති, පුළුලින් යොදුනක් ඇති, උසින් යොදුනක් ඇති, පලුදු රහිතවූ, සිදුරු රහිතවූ, ඒකඝනවූ, මහා ගල් පර්වතයක් වේද, ඒ ගල් පර්වතය පුරුෂයෙක් අවුරුදු සියයකට සියයකට වරක් කසී සලුවකින් පිරිමදින්නේ වේද, මහණ, මේ ආකාරයෙන් ඒ මහා ගල් පර්වතය ගෙවීමට කෙළවරවීමට යන්නේය. කල්පය කෙළවර නොවන්නේය.

“මහණ, කල්පය වනාහි මෙසේ දීර්ඝය. මහණ මෙසේ දීර්ඝවූ කල්පයන්ගෙන් නොයෙක් කල්ප සැරිසරන ලද්දේය. නොයෙක් කල්ප සියගණන් සැරිසරන ලද්දේය. නොයෙක් කල්ප දහස්ගණන් සැරිසරන ලද්දේය. නොයෙක් කල්ප ලක්ෂගණන් සැරිසරන ලද්දේය. ඊට හේතුව කවරේද?

“මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද, මුල් කොනත් නො දකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තරකරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”

(පස්වෙනි පබ්බත සූත්‍රය නිමි)