සංයුත්තනිකායො

නිදාන වර්ගය

4. අනමතග්ග සංයුත්තය

1. ප්‍රථම වර්ගය

8. ගංගා සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම්වූ වේළුවනයෙහි (හුන වනයෙහි) වාසය කරන සේක. ඉක්බිති එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ඒ බමුණා භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

“භවත් ගෞතමයෙනි, කොපමණ බහුලවූ, කල්පයෝ අතීත වූවාහුද, ඉක්ම ගියාහුද?

“බමුණ, බොහෝ කල්පයෝ වනාහි අතීත වූවාහුය. ඉක්ම ගියාහුය. ඔවුහු මෙතෙක් කල්පයන්ය කියා හෝ මෙතෙක් කල්ප සියයක්ය කියා හෝ මෙතෙක් කල්ප දහසක්ය කියා හෝ මෙතෙක් කල්ප ලක්ෂයක්ය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ.”

“භවත් ගෞතමයිනි, උපමාවක් කීමට හැක්කේද?”

“බමුණ, හැකිය”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. බමුණ, යම්සේ වනාහි මේ ගංගා නදිය යම් තැනෙකින් පටන් ගනීද, යම් තැනකින් මහමුහුදට වැටෙයිද, මේ අතර යම් වැල්ලක් වේද, ඒ වැල්ල මෙතෙක් වැලිය කියා හෝ, මෙතෙක් වැලිඇට සියය කියා හෝ, මෙතෙක් වැලිඇට දහසය කියා හෝ, මෙතෙක් වැලිඇට ලක්ෂය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ. බමුණ, අතීතවූ, ඉක්මගියාවූ, කල්පයන් වනාහි ඊට වඩා වැඩිය. ඔවුහු මෙතෙක් කල්පයන්ය කියා හෝ, මෙතෙක් කල්ප සියයක්ය කියා හෝ, මෙතෙක් කල්ප දහසක්ය කියා හෝ, මෙතෙක් කල්ප ලක්ෂයක්ය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ. ඊට හේතු කවරේද?

“බමුණ, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි, බමුණ, මෙසේ තොප විසින් දුක් අනුභව කරනලදී. දැඩි දුක් අනුභව කරනලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරනලදී. බමුණ, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නොඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”

මෙසේ දේශනා කළ කල්හි ඒ බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. යම්සේ යටිකුරු කළ භාජනයක් උඩුකුරු කරන්නේද, (තණකොළ ආදියෙන්) වැසුනක් වැහුම් හරින්නේද, මංමුළාවූවෙකුට මග හෝ කියන්නේද, (ගණ අඳුරෙහි) ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දල්වන්නේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ නොයෙක් පරිද්දෙන් ධර්මය දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ ධර්මය ඇසූ මම භාග්‍යවතුන්වහන්සේ සරණකොට යමි. ධර්මයද, සංඝයාද සරණකොට යමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිම්කොට සරණ ගිය උපාසකයකු කොට මා සලකනසේක්වා.”

(අට වෙනි ගංගා සූත්‍රය නිමි.)