සංයුත්තනිකායො

නිදාන වර්ගය

5. කස්සප සංයුත්තය

1. සන්තුට්ඨි සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, මහා කස්සපතෙමේ ලැබුණු යම් කිසි සිවුරකින් සතුටු වන්නෙක්ව ලැබුණු යම්කිසි සිවුරකින් සතුටු වීමෙහි ගුණ කියන්නේද වෙයි. සිවුරු උදෙසා නුසුදුසුවූ සිවුරු සැපයීමට නොබසී, සිවුරු නොලැබීම හේතු කොට ගෙන නොතැවෙයි. ලැබුවාවූද, සිවුරු තෘෂ්ණාවෙන් නොබැඳී මූර්ඡා නොවී තෘෂ්ණාවට යට නොවී ආදීනව දකිමින් සසරින් නික්මෙත්, නුවණින් යුක්තව පරිභොග කරයි.

“මහණෙනි, ලැබෙන යම්කිසි පිණ්ඩපාතයෙන්ද සතුටුවූ මේ මහා කස්සපතෙම (එහි) ගුණ කියන්නේ වෙයි. පිණ්ඩපාත හේතුවෙන් නුසුදුසුවූ, අයෝග්‍ය සෙවීමකට නොපැමිණෙයි. නොලද්දාවූ, පිණ්ඩපාතය ගැන නොතැවෙයි, ලද්දාවූ පිණ්ඩපාතය ගැන පහවූ ලෝභ ඇත්තේ, අධික තණ්හාවෙන් මුළා නොවූයේ, තණ්හාවෙන් යට නොවූයේ ආදීනව (දොස්) දක්නේ, සසරින් එතරවීමේ නුවණින් යුක්ත වූයේ වළඳයි. (පරිභෝග කෙරෙයි.)

“මහණෙනි, ලැබෙන යම්කිසි සේනාසනයෙන්ද, සතුටුවූ, මේ මහා කස්සපතෙම (එහි) ගුණ කියන්නේ වෙයි. සේනාසන හේතුවෙන් නුසුදුසුවූ, අයෝග්‍ය සෙවීමකට නොපැමිණෙයි. නොලද්දාවූ සේනාසන ගැන නොතැවෙයි. ලද්දාවූ සේනාසන ගැන පහවූ ලෝභ ඇත්තේ, අධික තණ්හාවෙන් මුළා නොවූයේ, තණ්හාවෙන් යට නොවූයේ ආදීනව (දොස්) දක්නේ, සසරින් එතර වීමේ නුවණින් යුක්තවූයේ වළඳයි. (පරිභෝග කෙරෙයි.)

“මහණෙනි, ලැබෙන යම්කිසි ගිලන්පස බෙහෙත් පිරිකරයෙන්ද, සතුටුවූ, මේ මහා කස්සපතෙම (එහි) ගුණ කියන්නේ වෙයි. ගිලන්පස බෙහෙත් පිරිකර හේතුවෙන් නුසුදුසුවූ, අයොග්‍ය සෙවීමකට නොපැමිණෙයි. නොලද්දාවූ, ගිලන්පස බෙහෙත් පිරිකර ගැන නොතැවෙයි. ලද්දාවූ, ගිලන්පස බෙහෙත් පිරිකර ගැන පහවූ ලෝභ ඇත්තේ, අධික තණ්හාවෙන් මුළා නොවූයේ, තණ්හාවෙන් යට නොවූයේ ආදීනව (දොස්) දක්නේ, සසරින් එතර වීමේ නුවණින් යුක්තවූයේ වළඳයි. (පරිභෝග කෙරෙයි.)

“මහණෙනි, එනිසා මෙහිදී, මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ලැබුණු යම් ඒ සිවුරකින් සතුටු වන්නෙමු. ලැබුණු යම් ඒ සිවුරකින් සතුටුවීමෙහි ගුණ කියන්නෝ වෙමු. සිවුරු නිසා නුසුදුසුවූ, නුසුදුසු සෙවීමකට නොපැමිණෙන්නෙමු සිවුරු නොලැබීම හේතුකොටගෙන නොතැවෙන්නෙමු. සිවුරු ලැබීම නිසා තණ්හාවෙන් නොබැඳී මුර්ඡා නොවී නොගිලී ආදීනව දකිමින් සසරින් එතරවන නුවණින් යුක්තව පරිභෝග කරන්නෙමු. ලැබුණු යම්කිසි පිණ්ඩපාතයකින් ලැබෙන යම්කිසි පිණ්ඩපාතයකින් සතුටු වූවෝ, (එහි) ගුණ කියන්නෝ වෙමු. පිණ්ඩපාත හේතුවෙන් නුසුදුසුවූ, අයෝග්‍ය සෙවීමකට නොපැමිණෙන්නෙමු. නොලද්දාවූ, පිණ්ඩපාතය ගැණ නොතැවෙන්නෙමු. ලද්දාවූ පිණ්ඩපාතයෙහි පහවූ ලෝභ ඇත්තෝ, අධිකවූ තණ්හාවෙන් මුළා නොවූවෝ, තණ්හාවෙන් යට නොවූවෝ ආදීනව (දොස්) දක්නෝ, එතර වීමේ නුවණින් යුක්තවූවෝ පරිභෝග කරන්නෙමු. (වළඳින්නෙමු.)

“මහණෙනි, ලැබුණු යම්කිසි සේනාසනයකින් සතුටු වූවෝ, (එහි) ගුණ කියන්නෝ වෙමු. සේනාසන හේතුවෙන් නුසුදුසුවූ, අයෝග්‍ය සෙවීමකට නොපැමිණෙන්නෙමු. නොලද්දාවූ, සේනාසනය ගැණ නොතැවෙන්නෙමු. ලද්දාවූ සේනාසනයෙහි පහවූ ලෝභ ඇත්තෝ, අධිකවූ තණ්හාවෙන් මුළා නොවූවෝ, තණ්හාවෙන් යට නොවූවෝ ආදීනව (දොස්) දක්නෝ, එතරවීමේ නුවණින් යුක්තවූවෝ පරිභෝග කරන්නෙමු. (වළඳන්නෙමු.)

“මහණෙනි, ලැබුණු යම්කිසි ගිලන්පස බෙහෙත් පිරිකරකින් සතුටු වූවෝ, (එහි) ගුණ කියන්නෝවෙමු. ගිලන්පස බෙහෙත් පිරිකර හේතුවෙන් නුසුදුසුවූ, අයෝග්‍ය සෙවීමකට නොපැමිණෙන්නෙමු. නොලද්දාවූ, ගිලන්පස බෙහෙත් පිරිකර ගැණ නොතැවෙන්නෙමු. ලද්දාවූ ගිලන්පස බෙහෙත් පිරිකරයෙහි පහවූ ලෝභ ඇත්තෝ, අධිකවූ තණ්හාවෙන් මුළා නොවූවෝ, තණ්හාවෙන් යට නොවූවෝ ආදීනව (දොස්) දක්නෝ, එතරවීමේ නුවණින් යුක්තවූවෝ පරිභෝග කරන්නෙමු. (වළඳන්නෙමු.)

“මහණෙනි, මෙසේ වනාහි හික්මිය යුතුයි. මහණෙනි, (මම) ඒ නුඹලාට කස්සපයන් හා සමාන වීම පිණිස අවවාද කරන්නෙමි. යමෙක් වනාහි කස්සපයන් හා සමානවේද, අවවාද කරන ලද්දාවූ තොප විසිනුදු එසේ වීම සඳහා පිළිපැදිය යුතුයි.

(පළමුවෙනි සන්තුට්ඨි සූත්‍රය නිමි.)