සංයුත්තනිකායො

නිදාන වර්ගය

5. කස්සප සංයුත්තය

11. චීවර සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ඇවැත් මහා කස්සපතෙම රජගහනුවර කලන්දකනිවාප නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරනසේක. එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම මහත්වූ භික්ෂු සංඝයා හා සමග ‘දක්ෂිණගිරියෙහි’ චාරිකාවෙහි හැසිරෙයි. එසමයෙහි වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ගේ බෙහෙවින් ළදරුවූ, තිසක් පමණ ශිෂ්‍ය භික්ෂූහු ශික්ෂාව ප්‍රතික්ෂේප කොට ගිහිවූවාහු වෙති.

ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවීරතෙම “දක්ෂිණ ගිරියෙහි” කැමතිතාක් චාරිකාවෙහි හැසිර, රජගහනුවර වේළුවන නම් “කලන්දක නිවාපය” යම් තැනෙක්හිද, ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේට වැඳ, එක්පසක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්හට ආයුෂ්මත් මහාකස්සප ස්ථවිරයන් වහන්සේ මෙය කීයේය.

“ඇවැත් ආනන්දයෙනි, කිනම් අර්ථයක් නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් කුලයන්හි ‘තිකභෝජනය’ (ගණ භොජන ශික්ෂාපදය) පණවන ලදද?

“ස්වාමීනි, කරුණු තුනක් නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් කුලයන්හි ‘තිකභෝජනය’ පණවනලදී. (එනම්:-) දුශ්ශීල පුද්ගලයන්හට නිග්‍රහකිරීම පිණිසද, සිල්වත් භික්ෂූන්ගේ පාසුවිහරණය පිණිසත්, පාප අදහස් ඇත්තෝ පක්ෂයක් ගෙන සංඝයා භෙද නොකෙරෙත්වා කියාද කුලයන් කෙරෙහි අනුකම්පාව නිසාද යන කරුණු තුනය. ස්වාමීනි, කස්සප ස්ථවිරයන් වහන්ස, මේ තෙවැදැරුම් අර්ථය නිසා භාග්‍යවතුන්වහන්සේ කුලයන්හි ‘තිකභෝජනය’ පණවන ලදී” “ඇවැත් ආනන්දයිනි, එසේ තිබියදී නුඹ කවර කාරණයක් නිසා, මේ ඉන්ද්‍රිය සංවරයක් නැත්තාවූ, භෝජනයෙහි ප්‍රමාණය නොදන්නාවූ, නිදිවර්ජිත කිරීමෙහි නොයෙදුනාවූ’ අලුත් මහණුන් හා සමග චාරිකාවෙහි හැසිරෙයිද? බෝගපැල විනාශ කරමින් ඇවිදින්නෙහියයි හඟිමි. කුලයන් නසමින් ඇවිදින්නෙහියයි හඟිමි. ඇවැත් ආනන්දයිනි, තොපගේ මේ අලුත් පිළිවෙළින් තොපගේ පිරිස විනාශ වන්නීය. තොපගේ පිරිස බිඳෙන්නීය. මේ* කුමාර (ළදරු) තෙමේ තමාගේ ප්‍රමාණය නොදන්නේයයි කීය.”

“ස්වාමීනි, කස්සප ස්ථවිරයන් වහන්ස, මාගේ හිසකෙස් ද පැසීගොස්ය. එතකුදු වුවත් අපි අද දක්වාත් ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේගේ ළදරුවා කියා ආමන්ත්‍රණයකිරීමෙන් නොමිදෙමුයි කීයේය.”

“එය එසේමය. ඇවැත් ආනන්දය, නුඹ මේ ඉන්ද්‍රිය සංවරයක් නැත්තාවූ භෝජනයෙහි ප්‍රමාණය නොදන්නාවූ, නිදි වර්ජිත කිරීමෙහි නොයෙදුනාවූ, අලුත් මහණුන් හා සමග චාරිකාවෙහි හැසිරෙහිය. ධාන්‍ය පැල විනාශ කරමින් හැසිරෙහියයි හඟිමි. කුලයන් විනාශකරමින් හැසිරෙහියයි හඟිමි.

මහා කස්සප ස්ථවිරයන් වහන්සේ වයස්ගතවූ පසුත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට දරුවා කියා කථා කරති.

ඇවැත් ආනන්දය, නුඹගේ මේ අලුත් පිලිවෙළින් පිරිස බිඳෙයි ඇවැත් ආනන්දය, නුඹගේ පිරිස විනාශ වෙයි. මේ කුමාරයා (ළදරුවා) තමාගේ ප්‍රමාණය නොදන්නේයයි කීය.

මහා කස්සප ආර්‍ය්‍යයන් වහන්සේ විසින් පණ්ඩිත භික්ෂුවක්වූ, ආනන්ද ආර්‍ය්‍යයන් වහන්සේ කුමාර වාදයෙන් නින්දා කරනු ලැබුවේයයි ථුල්ලනන්දා නම් භික්ෂුණිය ඇසුවාය. ඉක්බිති එයින් නොසතුටු සිත් ඇත්තාවූ, ථුල්ල නන්දා භික්ෂුණිය නොසතුටු වචනයක් නිකුත්කළාය. (එනම්:) කිමෙක්ද? මහා කස්සප ආර්‍ය්‍යයන් වහන්සේ පෙර අන්‍ය තීර්ථකව විසුවාවූ මහා කස්සප ආර්‍ය්‍යයන් වහන්සේ පණ්ඩිත භික්ෂුවක්වූ, ආනන්ද ආර්‍ය්‍යයන් වහන්සේ කුමාර වාදයෙන් නින්දා කළයුත්තෙකැයි හඟින්නේද?” කියායි.

ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේ ථුල්ල නන්දා භික්ෂුණිය විසින් කියනලද මේ වචනය ඇසූහ. ඉක්බිති ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්හට මෙය කීයේය. “ඇවැත් ආනන්දයිනි, ථුල්ලනන්දා භික්ෂුණිය විසින් ඉක්මන්වී, කරුණු නොසලකා වචනයක් කියනලදී. ඇවැත්නි, මම වනාහි යම් තැනක පටන් හිසකෙස් දැලිරවුල් බාවා, (බැහැර කරවා) කසාවත් හැඳ, අගාර නම් ලත් ගිහිගෙයින් නික්ම, අනගාරිය නම් ලත් ශාසනයෙහි පැවිදිවූයේ වෙම්ද, (එතැන් පටන් මම) ඒ භාග්‍යවත්වූ, අර්හත්වූ, සම්මා සම්බුදුන් හැර, අන්‍ය ශාස්තෘවරයකු දැක්වීමට නොදනිමි. ඇවැත්නි, පෙර ගිහිගෙයි වාසය කරන්නාවූ මට මේ සිත ඇතිවූයේය. ‘ගිහිගෙයි විසීම් අවහිරය. රජස් (දූවිලි) උපදනා තැනකි. පැවිදිවීම අබ්භොකාස්ථානයයි. (එළිමහන් තැනයි.) ගිහිගෙයි වසන්නන් විසින් ඒකාන්තයෙන් සම්පූර්ණවූ, ඒකාන්තයෙන් පිරිසිදුවූ, සෝදනලද හක්ගෙඩියක් මෙන් පිරිසිදුවූ මේ බ්‍රහ්ම චරියාවෙහි හැසිරෙන්නට පහසු නොවේ. මම කෙස් රවුළු කපා හැර, කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම, අනගාරිකව, පැවිදි වන්නෙම් නම් ඉතා හොඳය කියායි. ඇවැත්නි, පසුව ඒ මම කපනලද රෙදි කැබලිවලින් දෙපට සිවුරක් කොට ලෝකයෙහි යම් රහත්හු වෙත්ද, ඒ රහතුන් උදෙසා කෙස් රවුළු කපා හැර, කසාවත් හැඳ, ගිහිගෙයින් නික්මී, අනගාරිකව පැවිදිවූයෙමි. ඒ මම මෙසේ පැවිදිව දීර්ඝ මාර්ගයට පිළිපන්නේ, රජගහනුවරටද, නාලන්දාවටද අතරෙහිවූ බහුපුත්තචෙතිය නම් ස්ථානයෙහි වැඩහුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දැක්කෙමි. දැක, මට මේ සිත පහළවිය.

‘ඉදින් මම ශාස්තෲවරයෙකු දක්නෙම් නම් එය මේ භාග්‍යවතුන් වහන්සේම දැක්මය. ඉදින් මම සම්‍යක් ප්‍රතිපත්තියෙහි ගමන් කළ කෙනෙකු දැක්නෙම් නම් ඒ භාග්‍යවතුන් වහන්සේම දැක්මය. ඉදින් මම සියල්ල අවබොධ කළ කෙනෙකු දක්නෙම් නම් ඒ භාග්‍යවතුන් වහන්සේම දැක්මය’ කියායි. ඇවැත්නි, ඒ මම වනාහි එහිදීම භාග්‍යවතුන් වහන්සේගේ සිරි පා දෙක ළඟ වැටී, භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෲන් වහන්සේ වනසේක. මම (ඔබවහන්සේගේ) ශ්‍රාවකයෙක් වෙමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෲන්වහන්සේ වනසේක. මම (ඔබවහන්සේගේ) ශ්‍රාවකයෙක් වෙමි.’ ඇවැත්නි, මෙසේ කී කල්හි මට භාග්‍යවතුන් වහන්සේ මෙය කීසේක. ‘කස්සපය, යමෙක් වනාහි මෙසේ මුළුහිතින්ම යුක්තවූ, ශ්‍රාවකයෙකුහට නොදැන දනිමියි කියයි නම්, නොදැක දක්නෙමියි කියයි නම් ඔහුගේ හිසද පැලෙන්නේය. කස්සපය, මම වනාහි දැනම දනිමියි කියමි. දැකම දකිමියි කියමි. එහෙයින් කස්සපය, මෙහිදී නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ස්ථවිර භික්ෂූන් කෙරෙහිද නවක භික්ෂූන් කෙරෙහිද, මද්ධ්‍යම භික්ෂූන් කෙරෙහිද, මාගේ තියුණුවූ හිරි ඔතප් (ලජ්ජා භය) දෙක එළඹ සිටියේ වන්නේය කියායි. කස්සපය, නුඹ මෙසේ හික්මිය යුතුයි. කස්සපය, මෙහිදී නුඹ මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) කුශලින් යුක්තවූ, යම්කිසි ධර්මයක් අසම්ද, ඒ සියල්ල අර්ථ සහිත කොට, මෙනෙහිකොට, මුළුසිතින් එක්තැන් කොට, යොමුකරනලද කන් ඇතිව, ධර්මය අසන්නෙමියි කියායි. කස්සපය, නුඹ මෙසේ හික්මිය යුතුයි. කස්සපය, මෙහිදී නුඹ මෙසේ හික්මිය යුතුයි.

(කෙසේද?) මාගේ සොම්නස් සහගත කායගතාසතිය අත්නොහරින්නේයයි කියායි. කස්සපය, නුඹ මෙසේ හික්මිය යුතුයි.

“ඇවත, ඊටපසු භාග්‍යවතුන් වහන්සේ මේ අවවාදයෙන් මට අවවාද කොට, හුනස්නෙන් නැඟිට වැඩිසේක.

“ඇවත, මම වනාහි සත් දිනක් පමණක් නය සහිත “රට්ඨපිණ්ඩය” (රටවැසියන් දෙන පිණ්ඩපාතය) අනුභව කෙළෙමි. ඉක්බිති අටවැනිදා රහත්ඵලය පහළවිය. ඉක්බිති ඇවත, භාග්‍යවතුන් වහන්සේ මගින් ඉවත්වී, යම් තැනෙක්හි එක්තරා රුක්මුලක් වූයේද එතැනට වැඩිසේක. ඇවත, අනතුරුව මම කඩකොට කපනලද රෙදි කැබලිවලින් කළ දෙපොට සිවුර සතරට නවා ආසනයක් පනවා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයෙමි. ‘ස්වාමීනි, මෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටිනසේක්වා. එය මට බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේය’ කියායි. ඇවත, භාග්‍යවතුන් වහන්සේ පණවනලද ආසනයෙහි වැඩහුන්සේක. ඇවත, වැඩහුන්නාවූ, භාග්‍යවතුන් වහන්සේ මට මෙසේ වදාළේය. ‘කස්සපය, තාගේ කැපූ රෙදිකැබලිවලින් කළ (පට පිලෝතිකය) දෙපොට සිවුර මෘදුය’ කියායි. ‘ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ මට අනුකම්පාකොට කැපූ රෙදි කැබලිවලින් කළ දෙපොට සිවුර පිළිගන්නාසේක්වායි’ කීයෙමි. කස්සපය, නුඹ හණ නූලින් කරනලද, (පාවිච්චිකිරීමෙන්) පරණවූ මාගේ පාංසුකූල චීවරය වනාහි දරන්නෙහිද? ‘ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ හණනූලින් කරනලද, (පාවිච්චිකිරීමෙන්) පරණවූ පාංසුකූල චීවරය දරන්නෙමි ඇවත, යම් ඒ පුද්ගලයෙක් වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ලයෙන්ද මුඛයෙන්ද පහළවූ, ධර්මයෙන් උපන්නාවූ, ධර්මයෙන් නිර්මිතවූ, ධර්මයට දායාදකොට ඇත්තාවූ, පුත්‍රතෙම හන නූලෙන් කරනලද (පාවිච්චිකිරීමෙන්) පරණවූ පාංසුකූල සිවුර පිළිගත්තේයයි මනාකොට කියන්නේ නම් භාග්‍යවතුන් වහන්සේගේ ලයෙන් මුඛයෙන්ද පහළවූ, ධර්මයෙන් උපන්නාවූ, ධර්මයෙන් නිර්මිතවූ, ධර්මයට දායාදවූ, හණ නූලෙන් කරනලද, (පාවිච්චි කිරීමෙන්) පරණවූ පාංසුකූල සිවුර පිළිගත් පුත්‍රයාය යන මෙය මටම කියයුතු වන්නේය.”

“ඇවත, මම වනාහි යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් කාමයන්ගෙන් වෙන්වම (සියලු) අකුශල ධර්මයන් වෙන්වම විතර්ක සහිතවූ විචාර රහිතවූ විතර්කයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරමි.

“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒ තාක් විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇති කරන්නාවූ, හිතේ එකඟ බව ඇති කරන්නාවූ, විතර්ක රහිතවූ විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරමි.”

“ඇවත, මම යම්තාක් කල් කැමැතිවෙම්ද, ඒතාක් කල් ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරමි. සිහියෙන් යුක්තවූයේ කයින් වින්දේමි. යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසයකරමි.

“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් සැපය නැතිකිරීමෙන්, දුක නැතිකිරීමෙන්, කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරමි”

“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන්, පටිඝ (ගැටීම්) සංඥාවන් නැතිකිරීමෙන්, නානත්ත සංඥාවන් මෙනෙහි නොකිරීමෙන්, “ආකාසය අනන්තයයි” ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරමි.”

“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා “විඤ්ඤාණය අනන්තයයි” විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරමි.

“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා, කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරමි.”

“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා, නේවසඤ්ඤා නාසඤ්ඤායතනයට පැමිණ වාසය කරමි.

“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා, සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වාසය කරමි.’

“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් නොයෙක් ආකාරවූ, ඍද්ධිවිධි වෙන් වෙන් කොට (අනුභව කරමි) දක්වමි. (කෙසේද?) එකෙක්ව බොහෝ වෙමි. බොහෝසේව එකෙක් වෙමි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය විනිවිද, පවුර විනිවිද, පර්වතය විනිවිද, නොහැපෙමින් යමි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම්, මතුවීම් කරමි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබිඳ ගමන් කරමි. පක්ෂියකු මෙන් අහසෙහිද පර්‍ය්‍යංකයෙන් (අරමිණිය ගොතා) හිඳගෙනම යමි. මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභාව ඇති, සඳ හිරු දෙදෙන අතගාමි. පිරිමදිමි. බඹලොව තෙක් ශරීරයෙන් වසඟ කරමි.”

“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් පිරිසිදුවූ, මිනිස් කණ ඉක්මවා පැවැත්තාවූ, දිවකණින් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරවූද, ළඟවූද ශබ්ද අසමි.

“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් අන්‍ය සත්වයින්ගේ, අන්‍ය පුද්ගලයින්ගේ සිත තමාගේ සිතින් පිරිසිඳ දනිමි. (කෙසේද?) රාග සහිත සිත රාග සහිත සිතයයි දනිමි. රාග රහිත සිත රාග රහිත සිතයයි දනිමි. ද්වෙෂ සහිත සිත ද්වෙෂ සහිත සිතයයි දනිමි. ද්වෙෂ රහිත සිත ද්වෙෂ රහිත සිතයයි දනිමි. මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දනිමි. මෝහ රහිත සිත මෝහ රහිත සිතයයි දනිමි. හැකුළුණු සිත හැකුළුණු සිතයයි දනිමි. විසුරුණු සිත විසුරුණු සිතයයි දනිමි. මහත් බවට ගිය සිත මහත් බවට ගිය සිතයයි දනිමි. මහත් බවට නොගිය සිත මහත් බවට නොගිය සිතයයි දනිමි. කාම සහිත සිත කාම සහිත සිතයයි දනිමි. ලෞකික සිත් අතුරෙන් උසස්ම සිත අනුත්තර සිතයයි දනිමි. සමාධිගතවූ සිත සමාධිගතවූ සිතයයි දනිමි. සමාධිගත නොවූ සිත සමාධිගත නොවූ සිතයයි දනිමි. (ක්ලේශයන්ගෙන්) මිදුනු සිත (ක්ලේශයන්ගෙන්) මිදුනු සිතයයි දනිමි. (ක්ලේශයන්ගෙන්) නොමිදුනු සිත (ක්ලේශයන්ගෙන්) නොමිදුනු සිතයයි දැනගනිමි.

“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් නානාප්‍රකාරවූ පෙර වාසයකළ තැන් සිහි කරමි. හේ කෙසේද? එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිහක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශවෙන) කල්පයන්දත නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත, විවර්ත කල්පයන්ද අසවල් තැන උපන්නෙමි. එහි මෙනම් ඇත්තේවීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු සැප දුක් වින්දේවීමි. මෙබඳු ආයුෂ ඇත්තේවීමි. ඒ මම එතැනින් චුතව මේ මනුෂ්‍යාත්මභාවයෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, නානාප්‍රකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහිකරමි.”

“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටියාවූ දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ (ශරීරා) වර්ණ ඇත්තාවූද, මනාවූ (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය අනුව මිය පරලොව ගියාවූ සත්වයන් දකිමි. (කෙසේද?) ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනෝ දුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආර්‍ය්‍යයන්හට දොස් කීවාහු, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන්පහවූ නපුරුගති ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද.

මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, ආර්‍ය්‍යයන්හට දොස් නොකීවාහු, සම්‍යක් දෘෂ්ටි ඇත්තාහු, සම්‍යක් දෘෂ්ටිකර්ම සමාදන් වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්, චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද යහපත් ගති නැත්තාවූද, කර්මය පරිදි මිය පරලොව ගියාවූ සත්වයන් දැනගනිමි.

“ඇවත, ආශ්‍රවයන් (කෙලෙස්) ක්ෂයකිරීමෙන්, ආශ්‍රව රහිතවූ, චේතෝ විමුක්තියද (අර්හත්ඵල සමාධියද), පඤ්ඤා විමුක්තියද (අර්හත්ඵල ප්‍රඥාවද), මේ ආත්මයෙහිදී තෙමේම දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය කරමි.

“ඇවත, යමෙක් මාගේ ෂට්අභිඥාවන් වැසිය යුතුයයි හඟින්නේවේද, හෙතෙම හත්රියන් හෝ හත්රියන් හමාරක් හෝ වූ ඇතෙකු තල්පතකින් වැසිය යුතුයයි හඟින්නෙකු වැනිය. ථුල්ලනන්දා භික්ෂුණියද බ්‍රහ්මචරියාවෙන් (ශාසනයෙන්) චුතවූවාය.

(එකොළොස්වෙනි චීවර සූත්‍රය නිමි.)