සංයුත්තනිකායො

නිදාන වර්ගය

5. කස්සප සංයුත්තය

12. පරම්මරණ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේද බරණැස්නුවර මිගදායෙහි ඉසිපතනාරාමයෙහි වාසය කෙරෙත්. ඉක්බිති, ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරතෙමේ සවස් කාලයෙහි විවේක ස්ථානයෙහි නැඟී සිටියේ, ආයුෂ්මත් මහාකස්සප ස්ථවිරතෙම යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් හා සමග සතුටුවූයේය. සතුටු විය යුතුවූත් සිහිකටයුතුවූත් කථාවකොට නිමවා, එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවු ආයුෂ්මත් ශාරිපුත්‍රතෙම ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන්හට මෙය කීයේය.

“ඇවැත් කස්සපය, කිමෙක්ද? සත්වතෙම මරණින් පසුවෙයිද? ඇවත, සත්වයා මරණින් පසුවෙයි යනමෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණලදී. කිමෙක්ද ඇවත, සත්වයා මරණින් පසු නොවෙයිද? සත්වයා මරණින් පසු නොවෙයි යන මෙයද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලදී. කිමෙක්ද? ඇවත සත්වයා මරණින් පසු වන්නේත්, නොවන්නේත් වෙයිද? ඇවත, සත්වයා මරණින් පසු වන්නේත්, නොවන්නේත් වෙයි යන මෙයද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලදී. කිමෙක්ද ඇවත? සත්වයා මරණින් පසු නොවන්නේත්, නොවනු නොවන්නේත් වෙයිද? ඇවත, සත්වයා මරණින් පසු සත්වයෙක් නොවන්නේත්, නොවනු නොවන්නේත් වෙයි යන මෙයද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලදී. ඇවැත, කුමක් හෙයින් මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලදද? ඇවත, මෙය වනාහි අර්ථසහිතවූවක් නොවන්නේය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට පූර්වභාග ප්‍රතිපදාවක් නොවන්නේය. එසේම කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිරෝධය පිණිසද, සංසිඳීම පිණිසද, දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිර්වාණය පිණිසද නොවන්නේය. ඒ නිසා එය භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලදී.”

“ඇවැත, එසේනම් කුමක් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදද? ඇවත, මෙය වනාහි දුකයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී. මෙය දුක්ඛසමුදයයි (දුක් ඇතිවීමේ හේතුවයයි) භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී. මෙය දුක්ඛ නිරෝධයයි (දුක් නැතිවීමයයි) භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී. මෙය දුක්ඛ නිරෝධ ගාමිනීපටිපදාවයයි (දුක් නැතිකිරීමට ගමන්කළයුතු මාර්ගයයි) භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී. ඇවත, මෙය කුමක් හෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද? ඇවත, මෙය වනාහි අර්ථසහිත වන්නේය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට පූර්වභාග ප්‍රතිපදාව වන්නේය. එසේම කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිරෝධය පිණිසද, සංසිඳීම පිණිසද, දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිර්වාණය පිණිසද, වන්නේය. ඒ නිසා එය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.”

(දොළොස්වෙනි පරම්මරණ සූත්‍රය නිමි.)