සංයුත්තනිකායො

නිදාන වර්ගය

5. කස්සප සංයුත්තය

13. සද්ධම්මප්පතිරූපක සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණසේක.

ඉක්බිති, ආයුෂ්මත් මහා කස්සපතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් මහාකාශ්‍යපතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

“ස්වාමීනි, යම්හෙයකින් පෙර ශික්ෂාපදයෝ ඉතා ස්වල්ප වූවාහුද බොහෝවූ භික්ෂූහු රහත් බැව්හි පිහිටියාහුද, ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද? ස්වාමීනි, යම් හෙයකින් දැන් ශික්ෂාපදයෝ ඉතා බොහෝ වූවාහුද ඉතා ස්වල්පවූ භික්ෂූහු රහත්බැව්හි පිහිටියාහුද, ඊට හේතුව කවරේද, ප්‍රත්‍යය කවරේද?” ‘කස්සපය, මෙය වනාහි මෙසේ වෙයි. සත්වයන් පිරිහෙන කල්හි සද්ධර්මය අන්තර්ධාන වන කල්හි ශික්ෂාපද ඉතා බොහෝ වෙත්. ඉතා ස්වල්පවූ භික්ෂූහු රහත්බැව්හි පිහිටත්. කස්සපය, යම්තාක් ලෝකයෙහි “සද්ධර්ම ප්‍රතිරූපකයන් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) නූපදීද, ඒතාක් සද්ධර්මයාගේ අන්තර්ධානය නොවේ. කස්සපය, යම්තැනක පටන් ලෝකයෙහි සද්ධර්මප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) උපදීද, එකල්හි සද්ධර්මයාගේ අන්තර්ධානය වෙයි. කස්සපය, යම්සේ වනාහි යම්තාක්කල් ජාතරූප ප්‍රතිරූපකයක් (පෙනුමෙන් රත්රන් වැන්නක්) ලෝකයෙහි නූපදීද, ඒතාක්කල් ජාතරූපයාගේ (රත්රනයේ) අන්තර්ධාන නොවේ. කස්සපය, යම් තැනක පටන් ජාතරූප පතිරූපකයක් (පෙනුමෙන් රත්රන් වැන්නක්) ලෝකයෙහි උපදීද, අනතුරුව ජාතරූපයාගේ (රත්රනයේ) අන්තර්ධානය වෙයි. කස්සපය, මෙසේම වනාහි යම්තාක්කල් සද්ධර්ම ප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) ලෝකයෙහි නූපදීද? ඒතාක්කල් සද්ධර්මයාගේ අන්තර්ධානය නොවේ. කස්සපය, යම්තැනක පටන් සද්ධර්මප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) ලෝකයෙහි උපදීද, එකල්හි සද්ධර්මයාගේ අන්තර්ධානය වෙයි.

“කස්සපය, පඨවීධාතුව සද්ධර්මය අන්තර්ධාන නො කෙරෙයි. අපොධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. තේජෝධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. වායෝ ධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. එතකුදුවුවත් මේ ශාසනයෙහිම ඒ සද්ධර්මය අන්තර්ධාන කරන්නාවූ මෝඩ (හිස්) පුරුෂයෝ උපදිති. කස්සපය, යම්සේ වනාහි නැවක් බඩු පිරවීමෙන්ම කිඳෙයිද, කස්සපය සද්ධර්මය වනාහි එසේ පර්‍ය්‍යාප්ති ප්‍රතිපත්ති පිරීමෙන් අන්තර්ධාන නොවේ.

කස්සපය, සද්ධර්මය පිරිහෙන්නාවූ සද්ධර්මයාගේ නැතිවීම පිණිස අන්තර්ධානවීම පිණිස පවත්නාවූ මේ ධර්මයෝ පස්දෙනෙක් වෙත්. කවර පසක්ද? කස්සපය, මේ ශාසනයෙහි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවතුම් නැතිව වාසය කෙරෙත්ද, ධර්මය කෙරෙහි ගෞරව නැතිව යටහත් පහත් පැවතුම් නැතිව වාසය කෙරෙත්ද, සංඝයා කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවැතුම් නැතිව වාසය කෙරෙත්ද, ශික්ෂාව කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවැතුම් නැතිව වාසය කෙරෙත්ද, සමාධිය කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවැතුම් නැතිව වාසය කෙරෙත්ද, කස්සපය මේ කරුණු පස සද්ධර්මය පිරිහෙන්නාවූ සද්ධර්මයාගේ නැතිවීම පිණිස, අන්තර්ධානවීම පිණිස පවත්නා කරුණු වෙත්.

“කස්සපය, සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, නැති නොවීම පිණිස, අන්තර්ධාන නොවීම පිණිස පවත්නාවූ කරුණු පසක් වෙත්. කවර පසක්ද? කස්සපය, මේ ශාසනයෙහි භික්ෂු, භික්ෂූණී, උපාසක, උපාසිකාවෝ ශාස්තෲන්වහන්සේ කෙරෙහි ගෞරව සහිතව, යටහත් පහත් පැවැතුම් ඇතිව වාසය කෙරෙත්ද, ධර්මය කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් පැවතුම් සහිතව වාසය කෙරෙත්ද, සංඝයා කෙරෙහි ගෞරව සහිතව, යටහත් පහත් පැවැතුම් සහිතව වාසය කෙරෙත්ද, ශික්ෂාව කෙරෙහි ගෞරව සහිතව, යටහත් පහත් පැවැතුම් සහිතව වාසය කෙරෙද්ද සමාධිය කෙරෙහි ගෞරව සහිතව, යටහත් පහත් පැවැතුම් සහිතව වාසය කෙරෙත්ද, කස්සපය මේ ධර්මයෝ පස්දෙන වනාහි සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, නැති නොවීම පිණිස, අන්තර්ධාන නොවීම පිණිස පවත්නාහුය.

(දහතුන්වෙනි සද්ධම්මපතිරූපක සූත්‍රය නිමි.)

කස්සප සංයුත්තය නිමි.

සන්තුට්ඨි සූත්‍රය, අනොත්තාපී සූත්‍රය, චන්දොපමා සූත්‍රය, කුලුපග සූත්‍රය, ජිණ්ණ සූත්‍රය, ඔවාද සූත්‍ර තුනය, ඣානාභිඤ්ඤා සූත්‍රය, උපස්සය සූත්‍රය, චීවර සූත්‍රය, පරම්මරණ සූත්‍රය සහ සද්ධම්මපතිරූපක සූත්‍රය දැයි මේ කස්සප සංයුත්තයෙහි සූත්‍ර දහතුනකි.