සංයුත්තනිකායො

නිදාන වර්ගය

5. කස්සප සංයුත්තය

3. චන්දූපමා සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, කයින්ද ඈත්ව සිතින්ද ඈත්ව කුලයන්හි නිතර අලුත් කෙනෙක්ව, හැඩි දැඩි පැවතුම් නැතිව චන්ද්‍රයා හා සමානව කුලයන් කරා එළඹෙව්. (පැමිණෙව්.) මහණෙනි, යම්සේ වනාහි පුරුෂයෙක් තෙම කයින්ද ඈත්ව සිතින්ද ඈත්ව ගරාවැටුණ ළිඳක් හෝ ප්‍රපාතයක් හෝ ඉවුර සිඳීගිය ගඟක් හෝ බලන්නේ වේද, මහණෙනි, එසේම කයද ඈත් කොට සිතද ඈත් කොට කුලයන්හි නිතර අලුත් කෙනෙක්ව, හැඩි දැඩි පැවතුම් නැතිව චන්ද්‍රයා හා සමානව කුලයන් කරා එළඹෙව්. මහණෙනි, කස්සප තෙම කයද ඈත්කොට සිතද ඈත්කොට කුලයන්හි නිතර අලුත් කෙනෙකු මෙන් හැඩි දැඩි පැවතුම් නැතිව චන්ද්‍රයා හා සමානව කුලයන් කරා එළඹෙයි. (පැමිණෙයි.)

“මහණෙනි, කුමක් සිතන්නහුද? කෙබඳු මහණ තෙමේ කුලයන් කරා එළඹෙන්නට සුදුසු වෙයිද?”

“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තෝය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තෝය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහුය. ස්වාමීනි, මේ වචනයාගේ අර්ථය භාග්‍යවතුන් වහන්සේටම වැටහේ නම් ඒ මැනවි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහුයයි.” (කීවාහුය.) ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අහසෙහි අත්ල සෙලවූසේක. “මහණෙනි, යම්සේ මේ අත්ල අහසෙහි නොරඳාද, අල්ලා නොගනීද, නොබැඳේද, මහණෙනි, මෙසේම කුලයන්ට එළඹෙන යම්කිසි භික්ෂුවකගේ සිත කුලයන්හි නොරඳයිද, අල්ලා නොගනියිද, නොබැඳෙයිද, ‘ලාභ කැමැත්තෝ ලාභ ලබත්වා, පින් කැමැත්තෝ පින් කෙරෙත්වායි,’ තමහට ලැබෙන දෙයින් සතුටු වන්නේද, එසේම අනුන්ගේ ලාභය ගැන සතුටු වන්නේද, මහණෙනි, එවැනි මහණ තෙමේ කුලයන් කරා එළඹෙන්නට සුදුසු වන්නේයි. මහණෙනි, කුලයන් කරා එළඹුනාවූ, කස්සපගේ සිත කුලයන්හි නොරැඳෙයි. අල්ලා නොගනියි. නොබැඳෙයි. ‘ලාභ කැමැත්තෝ ලාභ ලබත්වා, පින් කැමැත්තෝ පින් කෙරෙත්වායි’ තමහට ලැබෙන ලාභයෙන් සතුටු වෙයි. එසේ අනුන්ට ලැබෙන ලාභයෙන් සතුටු වෙයි. මහණෙනි, එවැනිවූ භික්ෂුතෙමේ කුලයන් කරා එළඹෙන්නට සුදුසු වෙයි.

“මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? කෙබඳු ස්වභාව ඇත්තාවූ භික්ෂුවගේ ධර්මදේශනාව පිරිසිදු නොවේද? කෙබඳු ස්වභාව ඇත්තාවූ භික්ෂුවගේ ධර්මදේශනාව පිරිසිදු වේද?” “ස්වාමීනි, අපගේ ධර්මයෝ භග්‍යවතුන්වහන්සේ මුල්කොට ඇත්තෝය. භග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තෝය. භග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තෝය. ස්වාමීනි, මේ වචනයේ අදහස භාග්‍යවතුන් වහන්සේම කියා දෙන සේක් නම් (භාග්‍යවතුන් වහන්සේටම වැටහෙනසේක් නම්) ඉතා හොඳයයි” කීවාහුය. “මහණෙනි, එසේ වීනම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමියි” වදාළසේක. “එසේය ස්වාමීනියි,” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.

“මහණෙනි, යම්කිසි මහණෙක් තෙම මෙවැනි සිතින් යුක්තව අනුන්ට ධර්මය දේශනා කෙරේද? (කෙසේද?) ‘මොවුහු මාගේ ධර්මය අසත් නම්, යෙහෙකි. අසා ධර්මයෙහි පැහැදෙත් නම් යෙහෙකි, පැහැදී මට පැහැදුනු ආකාරයක් කෙරෙත් නම් ඉතා හොඳය’ කියායි. මහණෙනි, මෙවැනි භික්ෂුවගේ ධර්මදේශනාව අපිරිසිදු වෙයි. මහණෙනි, යම්කිසි මහණෙක් තෙම මෙවැනි සිතින් යුක්තව අනුන්ට ධර්මය දේශනා කෙරේද? (කෙසේද?) භාග්‍යවතුන් වහන්සේ විසින් (මේ) ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. තමා විසින්ම දැක්ක යුත්තේය. කල් නොගොසින්ම විපාක දෙන්නේය. එව, බලවයි කීමට සුදුසුය. තමාගේ සන්තානයෙහි එළවා ගැනීමට හෙවත් තම තමන් විසින්ම එළඹීමට සුදුසුය. නුවණ ඇත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුත්තේය. මොවුහු මාගේ ධර්මය අසත් නම්, අසා ධර්මය දැනගනිත් නම්, දැන ගෙන, ඒ අයුරු පිළිපදිත් නම් ඉතා හොඳය කියායි. මෙසේ ධර්මයෙහි යහපත් බව කරුණු කොට අනුන්ට ධර්මය දේශනා කෙරෙයි. කරුණාව නිසා අනුන්ට ධර්මය දේශනා කෙරෙයි. දයාව නිසා අනුන්ට ධර්මය දේශනා කෙරෙයි. අනුකම්පාව උපදවා අනුන්ට ධර්මය දේශනා කෙරෙයි. මහණෙනි, මෙවැනි භික්ෂුවගේ ධර්ම දේශනාව පිරිසිදු වෙයි.

“මහණෙනි, කස්සපතෙම මෙවැනි සිත් ඇත්තේ අනුන්ට ධර්මය දේශනා කෙරෙයි. (කෙසේද?) භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. තමා විසින්ම දැක්ක යුත්තේය. කල් නොගොසින්ම විපාක දෙන්නේය. එව, බලවයි කීමට සුදුසුය. තමාගේ සන්තානයෙහි එළවා ගැනීමට හෙවත් තම තමන් විසින්ම එළඹීමට සුදුසුය. නුවණ ඇත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුත්තේය. මොවුහු ධර්මය අසත් නම්, අසා ධර්මය දැන ගනිත් නම්, දැනගෙන, ඒ අයුරු පිළිපදිත් නම් හොඳය කියායි, මෙසේ ධර්මයෙහිවූ, යහපත් බව නිසා අනුන්ට ධර්මය දේශනා කෙරෙයි. කරුණාව නිසා අනුන්ට ධර්මය දේශනා කෙරෙයි. දයාව නිසා අනුන්ට ධර්මය දේශනා කෙරෙයි. අනුකම්පාව උපදවා අනුන්ට ධර්මය දේශනා කෙරෙයි. මහණෙනි, (මම) තොපට කස්සපයන් හා සමාන වීමට අවවාද කරන්නෙමි. යමෙක් කස්සපයන් හා සමාන වන්නේද, අවවාද කරන ලද්දාවූ තොප විසින් එසේ වනු සඳහා පිළිපැදිය යුත්තේය.

(තුන්වෙනි චන්දූපමා සූත්‍රය නිමි.)