සංයුත්තනිකායො

නිදාන වර්ගය

5. කස්සප සංයුත්තය

4. කුලුපග සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, කුමක් සිතන්නහුද? කෙබඳු භික්ෂුවක් කුල ගෙවලට එළඹෙන්නට සුදුසු වේද? කෙබඳු භික්ෂුවක් කුල ගෙවලට එළඹෙන්නට නුසුදුසු වේද?” “ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තේය. භාග්‍යවතුන් වහන්සේ පමුණු වන්නා කොට ඇත්තෝය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තෝය. ස්වාමීනි, මේ වචනයේ අදහස භාග්‍යවතුන් වහන්සේම කියා දෙන සේක්නම් (භාග්‍යවතුන් වහන්සේටම වැටහෙන සේක් නම්) ඉතා හොඳයයි” කීවාහුය. “මහණෙනි, එසේ වීනම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමියි” වදාළසේක. “එසේය ස්වාමීනි,” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.

“මහණෙනි, මෙවැනි සිත් ඇත්තාවූ යම්කිසි මහණෙක් තෙම වනාහි කුලගෙවලට එළඹෙයිද, (කෙබඳු සිත් ඇත්තාවූදයත්) ‘මටම දෙත්වා නොදීම නොකෙරෙත්වා. මට බොහෝ කොටම දෙත්වා. ස්වල්පකොට නොදෙත්වා. මට ප්‍රණීත කොටම දෙත්වා. අප්‍රණීත කොට නො දෙත්වා. මට ඉක්මන් කොටම දෙත්වා. ප්‍රමාදකොට නොදෙත්වා. මට සකස්කොටම දෙත්වා. සකස් නොකොට නොදෙත්වා.

“මහණෙනි, ඒ මෙවැනි සිත් ඇත්තාවූ, කුලගෙවලට එළඹෙන්නාවූ මහණහට, ඉදින් නොදෙත්ද, ඒ හේතුවෙන් මහණතෙම පීඩාවට පත්වෙයි. හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් විඳියි. ස්වල්පයක් දෙත්ද, බොහෝකොට නොදෙත්ද, ඒ හේතුවෙන් මහණතෙම පීඩාවට පත්වෙයි. හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් විඳියි. අප්‍රණීත කොට දෙත්ද, ප්‍රණීත කොට නොදෙත්ද, ඒ හේතුවෙන් මහණතෙම පීඩාවට පත්වෙයි. හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් විඳියි. ප්‍රමාදව දෙත්ද, ශීඝ්‍රව නොදෙත්ද, ඒ හේතුවෙන් මහණතෙම පීඩාවට පත්වෙයි. හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් විඳියි. සකස් නොකොට දෙත්ද, සකස්කොට නොදෙත්ද, ඒ හේතුවෙන් මහණතෙම පීඩාවට පත්වෙයි. හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් විඳියි. මහණෙනි, මෙවැනි භික්ෂුව වනාහි කුලගෙවලට එළඹීමට සුදුසු නොවෙයි.

5 “මහණෙනි, මෙබඳු සිත් ඇත්තාවූ, යම්කිසි මහණෙක් තෙම වනාහි කුල ගෙවලට එළඹෙයිද, (කෙබඳු සිත් ඇත්තාවූදයත්) මටම දෙත්වා. නොදීම නොකෙරෙත්වා. මට බොහෝකොටම දෙත්වා. ස්වල්පකොට නොදෙත්වා, මට ප්‍රණීතකොටම දෙත්වා. අප්‍රණීතකොට නොදෙත්වා. මට ඉක්මන්කොටම දෙත්වා. ප්‍රමාදකොට නොදෙත්වා. මට සකස්කොටම දෙත්වා. සකස් නොකොට නොදෙත්වා යන මෙය අන්‍ය කුල ගෙවලින් කෙසේ ලබන්නාහුද කියායි. මහණෙනි, ඒ එවැනි සිත් ඇත්තාවූ, කුලගෙවලට එළඹෙන්නාවූ, මහණහට ඉදින් නොදෙත්ද, ඒ හේතුවෙන් මහණතෙම පීඩාවට පත් නොවෙයි. හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් නොවිඳියි. ස්වල්පයක් දෙත්ද, බොහෝකොට නොදෙත්ද, ඒ හේතුවෙන් මහණතෙම පීඩාවට පත් නොවෙයි. හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් නොවිඳියි. අප්‍රණීත කොට නොදෙත්ද, ඒ හේතුවෙන් මහණ තෙම පීඩාවට පත් නොවෙයි. හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් නොවිඳියි. ප්‍රමාදව දෙත්ද, සීඝ්‍රව නොදෙත්ද, ඒ හේතුවෙන් මහණතෙම පීඩාවට පත් නොවෙයි. හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් නොවිඳියි. සකස් නොකොට දෙත්ද, සකස් කොට නොදෙත්ද, ඒ හේතුවෙන් මහණතෙම පීඩාවට පත් නොවෙයි. හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් නොවිඳියි. මහණෙනි, මෙවැනි භික්ෂුව වනාහි කුල ගෙවලට එළඹෙන්නට සුදුසු වෙයි.

“මහණෙනි, කස්සපතෙම මෙවැනි සිත් ඇත්තේ කුල ගෙවලට එළඹෙයි. (කෙසේ සිත් ඇත්තේද යත්:-) මටම දෙත්වා. නොදීම නොකෙරෙත්වා. මට බොහෝ කොටම දෙත්වා. ස්වල්පකොට නොදෙත්වා. මට ප්‍රණීත කොටම දෙත්වා. අප්‍රණීත කොට නොදෙත්වා. මට ඉක්මන් කොටම දෙත්වා. ප්‍රමාදකොට නොදෙත්වා. මට සකස් කොටම දෙත්වා. සකස් නොකොට නොදෙත්වා යන මෙය අන්‍යවූ කුල ගෙවලින් කෙසේ ලබන්නාහුද’ කියායි. මහණෙනි, ඒ මෙවැනි සිත් ඇතිව, කුල ගෙවලට එළඹෙන්නාවූ, කස්සප හට ඉදින් නොදෙත්ද, ඒ හේතුවෙන් කස්සපතෙම පීඩාවට පත් නොවෙයි. හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් නොවිඳියි. ස්වල්පයක් දෙත්ද, බොහෝකොට නොදෙත්ද, ඒ හේතුවෙන් කාශ්‍යපතෙම පීඩාවට පත් නොවෙයි. හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් නොවිඳියි. අප්‍රණීත කොට දෙත්ද, ප්‍රණීතකොට නොදෙත්ද, ඒ හේතුවෙන් කස්සපතෙම පීඩාවට පත් නොවෙයි. හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් නොවිඳියි. ප්‍රමාදව දෙත්ද, ශීඝ්‍රව නොදෙත්ද, ඒ හේතුවෙන් කස්සප තෙම පීඩාවට පත් නොවෙයි., හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් නොවිඳියි. සකස් නොකොට දෙත්ද, සකස් කොට නොදෙත්ද, ඒ හේතුවෙන් කස්සප තෙම පීඩාවට පත් නොවෙයි. හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් නොවිඳියි. මහණෙනි, ඒ කස්සප හා සමාන වීමට (මම) තොපට අවවාද කරන්නෙමි. යමෙක් කස්සප හා සමාන වූයේද අවවාද කරන ලද්දාවූ තොප විසින් එසේ වනු සඳහා පිළිපැදිය යුතුයි.

(හතරවෙනි කුලුපග සූත්‍රය නිමි.)