සංයුත්තනිකායො

නිදාන වර්ගය

5. කස්සප සංයුත්තය

5. ජිණ්ණ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම් වේළුවනයෙහි (හුන වනයෙහි) වසන සේක.

ඉක්බිති ආයුෂ්මත් මහා කස්සපතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය. “කස්සපය නුඹ දැන් මහළුවූයෙහිය. නුඹට මේ හණින් කළාවූ, පැරණිවූ පාංශුකූල සිවුරු බරවෙත්. කස්සපය, ඒ නිසා නුඹ ගෘහපතියන්ගේ සිවුරුද දරව. ආරාධනාකොට දෙන ලද බත්ද වළඳව. මාගේ සමීපයෙහිද වාසය කරව” කියායි.

“ස්වාමීනි, මම වනාහි බොහෝ කාලයක් මුළුල්ලෙහි ආරණ්‍යකද, ආරණ්‍යක භාවයෙහි ගුණ කියන්නේද වීමි. පිණ්ඩපාතිකද, පිණ්ඩපාතිකයෙහි ගුණ කියන්නේද වීමි. පාංසුකූලිකද, පාංසුකූලිකයෙහි ගුණ කියන්නේද වීමි. තේචීවරිකද, තේචීවරිකත්වයෙහි ගුණ කියන්නේද වූයෙමි. අල්පෙච්ඡද, අල්පෙච්ඡ භාවයෙහි ගුණ කියන්නේද වූයෙමි. ලද දෙයින් සතුටු වූයේද, ලද දෙයින් සතුටුවීමෙහි ගුණ කියන්නේද වූයෙමි. අතිශය විවේකයෙන් යුක්තවූයේද, අතිශය විවේක ස්වභාවයෙහි ගුණ කියන්නේද වූයෙමි. බොහෝ දෙනා සමග හෝ ගැටුනේ බොහෝ දෙනා සමග නොගැටීමෙහි ගුණ කියන්නේද වූයෙමියි කීය.

“කස්සපය, නුඹ කිනම් අර්ථයක් දකිමින් දීර්ඝකාලයක් මුළුල්ලෙහි ආරණ්‍යකත්, ආරණ්‍යක භාවයෙහි ගුණ කියන්නේත් වූයෙහිද? පිණ්ඩපාතිකත්, පිණ්ඩපාතයෙහි ගුණ කියන්නේත් වූයෙහිද? පාංසුකූලිකත්, පාංසුකූලිකත්වයෙහි ගුණ කියන්නේත් වූයෙහිද? තේචීවරිකත්, තේචීවරිකත්වයෙහි ගුණ කියන්නේත් වූයෙහිද? අල්පෙච්ඡත්, අල්පෙච්ඡභාවයෙහි ගුණ කියන්නේත් වූයෙහිද? ලද දෙයින් සතුටු වූයේත්, ලද දෙයින් සතුටු වීමෙහි ගුණ කියන්නේත් වූයෙහිද? අතිශය විවේකයෙන් යුක්තවූයේත්, අතිශය විවේක ස්වභාවයෙහි ගුණ කියන්නේත් වූයෙහිද? නො ගැටුනේත්, නොගැටීමෙහි ගුණ කියන්නේත් වූයෙහිද? පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේත්, පටන් ගන්නා ලද වීර්‍ය්‍යයෙහි ගුණ කියන්නේත් වූයෙහිද?”

“ස්වාමීනි, මම වනාහි අර්ථ දෙකක් දකිමින් බොහෝ කාලයක් මුළුල්ලෙහි ආරණ්‍යකද, ආරණ්‍යක භාවයෙහි ගුණ කියන්නේද වූයෙමි. පිණ්ඩපාතිකද, පිණ්ඩපාතයෙහි ගුණ කියන්නේද වූයෙමි. පාංසුකූලිකද, පාංසුකූලික භාවයෙහි ගුණ කියන්නේද වූයෙමි. තේචීවරිකද, තේචිවරිකත්වයෙහි ගුණ කියන්නේද වූයෙමි. අල්පෙච්ඡද, අල්පෙච්ඡ භාවයෙහි ගුණ කියන්නේද වූයෙමි. ලද දෙයින් සතුටු වූයේද, ලද දෙයින් සතුටුවීමෙහි ගුණ කියන්නේද වූයෙමි. අතිශය විවේක ස්වභාවයෙන් යුක්ත වූයේද, අතිශය විවේක ස්වභාවයෙහි ගුණ කියන්නේද වූයෙමි. නොගැටුනේද, නොගැටීමෙහි ගුණ කියන්නේද වූයෙමි. පටන් ගන්නා ලද, වීර්‍ය්‍යය ඇත්තේද, පටන් ගන්නා ලද, වීර්‍ය්‍යයෙහි ගුණ කියන්නේද වූයෙමි. තමාගේ මේ ආත්මභාවයෙහි සැපවිහරණය දකිමින්ද, අනාගත පරම්පරාවට අනුකම්පාකරමින්ද, අනාගත පරම්පරා තොමෝ දෘෂ්ට්‍යානුගතියට පැමිණෙන්නී නම් ඉතා හොඳය කියායි. යම් ඒ බුද්ධානු බුද්ධශ්‍රාවකයෝ වූවාහුද, ඔවුහු දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ආරණ්‍යකයෝද, ආරණ්‍යක භාවයේ ගුණ කියන්නෝද වූහ. පිණ්ඩපාතිකයෝදත පිණ්ඩපාතයෙහි ගුණ කියන්නෝද වූහ. පාංසුකූලිකයෝද පාංසුකූලික භාවයෙහි ගුණ කියන්නෝද වූහ. තේචීවරිකයෝද, තේචීවරිකත්වයෙහි ගුණ කියන්නෝද වූහ. අල්පෙච්ඡයෝද, අල්පෙච්ඡ භාවයෙහි ගුණ කියන්නෝද වූහ. ලද දෙයින් සතුටු වූවෝද, ලද දෙයින් සතුටුවීමෙහි ගුණ කියන්නෝද වූහ. අතිශය විවේක ස්වභාවයෙන් යුක්තවූවෝද, අතිශය විවේක ස්වභාවයෙහි ගුණ කියන්නෝද වූහ. නොගැටුනෝද, නොගැටීමෙහි ගුණ කියන්නෝද වූහ. පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තෝද, පටන් ගන්නා ලද, වීර්‍ය්‍යයෙහි ගුණ කියන්නෝද වූහ. ඒ බුද්ධානු බුද්ධ ශ්‍රාවකයෝ ඒ සඳහා පිළිපදින්නාහුය. ඒ බුද්ධානු බුද්ධ ශ්‍රාවකයන්ට ඒ පිළිපැදීම බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේය.

“ස්වාමීනි, මම වනාහි මේ අර්ථ දෙක දකිමින් බොහෝ කාලයක් මුළුල්ලෙහි ආරණ්‍යකද, ආරණ්‍යක භාවයෙහි ගුණ කියන්නේද වූයෙමි. පිණ්ඩපාතිකද, පිණ්ඩපාතයෙහි ගුණ කියන්නේද වූයෙමි. පාංසුකූලිකද, පාංසුකූලිකත්වයෙහි ගුණ කියන්නේද වූයෙමි. තේචීවරිකද, තේචීවරිකත්වයෙහි ගුණ කියන්නේද වූයෙමි. අල්පෙච්ඡද, අල්පෙච්ඡ භාවයෙහි ගුණ කියන්නේද වූයෙමි. ලද දෙයින් සතුටුවූයේද, ලද දෙයින් සතුටුවීමෙහි ගුණ කියන්නේද වූයෙමි. අතිශය විවේක ස්වභාවයෙන් යුක්තවූයේද, අතිශය විවේක ස්වභාවයෙහි ගුණ කියන්නේද වූයෙමි. නොගැටුනේද, නොගැටීමෙහි ගුණ කියන්නේද වූයෙමි. පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේද, පටන් ගන්නා ලද වීර්‍ය්‍යයෙහි ගුණ කියන්නේද වූයෙමි.” “යහපති, යහපති කස්සපය. කස්සපය, නුඹ වනාහි බොහෝදෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ට අර්ථය පිණිස, හිත පිණිස, සැප පිණිස, පිළිපන්නෙහිය. කස්සපය, එහෙයින් මෙහිදී නුඹ හණින් කළ දිරූ, පාංසුකූල චීවරද, දරව. පිණ්ඩපාතයෙහිද හැසිරෙව ආරණ්‍යයෙහිද වාසය කරවයි” (වදාළසේක.)

(පස්වෙනි ජිණ්ණ සූත්‍රය නිමි.)