සංයුත්තනිකායො

නිදාන වර්ගය

5. කස්සප සංයුත්තය

6. ඕවාද සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම් ලත් වේළුවනයෙහි (හුනවනයෙහි) වාසය කරනසේක.

ඉක්බිති ආයුෂ්මත් මහා කස්සපතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන්හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“කස්සපය, භික්ෂූන්හට අවවාදකරව. කස්සපය, භික්ෂූන්හට ධර්මය දේශනා කරව. කස්සපය මම හෝ භික්ෂූන්හට අවවාද කරන්නෙමි. නුඹ හෝ කරව. මම හෝ භික්ෂූන්ට දැහැමි කථාවක් (ධර්මදේශනා) කරන්නෙමි. නුඹ හෝ කරවයි” කියායි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් භික්ෂූහු වනාහි දුර්වචවූවාහු (අවවාද කිරීමට අපහසුවූවෝව) දුර්වච බව ඇති කරන කරුණුවලින් යුක්තව අනුශාසනාව ගෞරවයෙන් නොපිළිගන්නෝව වෙසෙත්.

“ස්වාමීනි, මම මේ ශාසනයෙහි, ‘මහණ, එව. කවරෙක් ඉතා බොහෝකොට ධර්මදේශනා කරන්නේද? කවරෙක් ඉතා හොඳට ධර්මදේශනා කරන්නේද? කවරෙක් ඉතා වැඩි වේලා ධර්මදෙශනා කරන්නේ දැයි?” කියා ශ්‍රැතයෙන් (උගත්කමින්) ඔවුනොවුන් අබිබවා (යටත්කොට) වාදකරන්නාවූ, ආනන්ද තෙරුන්ගේ ශිෂ්‍යයෙකුවූ “භණ්ඩු” නම් භික්ෂුවක්ද, අනුරුද්ධ තෙරුන්ගේ ශිෂ්‍යයෙකුවූ, “ආභිඤ්ජික” නම් භික්ෂුවක්ද දැක්කෙමියි කීය.

ඉක්බිති, භාග්‍යවතුන් වහන්සේ වහා එක්තරා භික්ෂුවකට කථාකළසේක. “මහණ, නුඹ මෙහි එව. ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන්ලා කැඳවනසේකැයි, මාගේ වචනයෙන් ආනන්දයන්ගේ ශිෂ්‍ය “භණ්ඩු” නම් භික්ෂුවද, අනුරුද්ධයන්ගේ ශිෂ්‍ය “අභිඤ්ජික” නම් භික්ෂුවද කැඳවයි” වදාළසේක. “එසේය ස්වාමීනියි” කියා ඒ මහණ තෙම වනාහි භාග්‍යවතුන් වහන්සේට උත්තරදී, ඒ භික්ෂූන් යම්තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, ඒ භික්ෂූන්ට ‘ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවන සේකැයි’ කීය. “ඇවැත්නි, එසේයයි” කියා ඒ භික්ෂූන් දෙනම ඒ භික්ෂුවට පිළිතුරුදී, භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැන්හි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නාහුය. එක්පසෙක හුන්නාවූ, ඒ භික්ෂූන්ට වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

“මහණෙනි, තොපි වනාහි උගත්කමින් ඔවුනොවුන් අභිබවා වාදකරන්නාහුය යනු සැබෑද? (කෙසේද?) ‘මහණ එව කවරෙක් ඉතා බොහෝකොට ධර්මදේශනා කරන්නේද? කවරෙක් ඉතා හොඳට ධර්මදෙශනා කරන්නේද? කවරෙක් ඉතා වැඩි කාලයක් ධර්මදෙශනා කරන්නේද?’ කියායි.” “එසේය. ස්වාමීනි,” “මහණෙනි, කිමෙක්ද මා විසින් තොපට මෙසේ ධර්මය දේශනා කළබව දන්නහුද? ‘එව මහණෙනි, තොපි, උගත්කමින් ඔවුනොවුන් අභිබවා වාදකරව් (කෙසේද?) ‘එව මහණ, කවරෙක් ඉතා බොහෝකොට ධර්මදෙශනා කරන්නේද? කවරෙක් ඉතා හොඳට ධර්මදෙශනා කරන්නේද? කවරෙක් ඉතා වැඩිකාලයක් ධර්ම දේශනා කරන්නේද? කියායි.” “ස්වාමීනි, එසේ නොවේමය” “මහණෙනි, ඉඳින් තොපි (මා විසින්) මෙසේ ධර්මය දේශනාකළ බව නොදන්නාහු නම්, හිස් පුරුෂයිනි, තොපි කුමක් නිසා කුමක් දන්නාහු, කුමක් දක්නාහු, මෙසේ මනාකොට දේශනා කරනලද, ශාසනයෙහි (ධර්මවිනයෙහි) පැවිදිවූවාහු උගත්කමින් ඔවුනොවුන් අභිබවා වාදකරන්නහුද? (කෙසේද?) ‘එව මහණ, කවරෙක් ඉතා බොහෝකොට ධර්මදෙශනා කරන්නේද? කවරෙක් ඉතා හොඳට ධර්මදෙශනා කරන්නේද? කවරෙක් ඉතා වැඩිකාලයක් ධර්මදෙශනා කරන්නේද?’ කියායි.”

ඉක්බිති, ඒ භික්ෂු දෙනම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා දෙක ළඟ හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාහුය. “ස්වාමීනි, වරද, බාලයකුසේ, මුළාවූවෙකුසේ, අදක්ෂයකුසේ අප ඉක්මවා ගියේය. ඒ අපි මෙසේ මනාකොට දෙශනා කරනලද, ශාසනයෙහි පැවිදිවූවාහු, උගත්කමින් ඔවුනොවුන් අභිබවා වාදකෙළෙමු. (කෙසේද?) ‘මහණ, එව. කවරෙක් ඉතා බොහෝකොට ධර්මදෙශනා කරන්නේද? කවරෙක් ඉතා හොඳට ධර්මදෙශනා කරන්නේද? කවරෙක් ඉතා වැඩිකාලයක් ධර්මදෙශනා කරන්නේද?’ කියායි. ස්වාමීනි, මත්තෙහි සංවරය පිණිස භාග්‍යවතුන් වහන්සේ ඒ අපගේ වරද වරද වශයෙන් පිළිගන්නා සේක්වා.” “මහණෙනි, එසේනම් වරද, බාලයකුසේ, මුළාවූවකුසේ. අදක්ෂයකුසේ තොප ඉක්මවා ගියේය. ඒ තොපි මෙසේ මනාකොට දේශනා කරනලද, ශාසනයෙහි (ධර්මවිනයෙහි) පැවිදිවූවාහු, උගත්කමින් ඔවුනොවුන් අභිබවා (යටකොට) වාදකළාහුය (කෙසේද?) ‘මහණ, එව. කවරෙක් ඉතා බොහෝ කොට ධර්මදෙශනා කරන්නේද? කවරෙක් ඉතා හොඳට ධර්මදෙශනා කරන්නේද? කවරෙක් ඉතා වැඩි කාලයක් ධර්මදෙශනා කරන්නේද?’ කියායි. මහණෙනි, යම්හෙයකින් වරද වරද වශයෙන් දැක, ධර්මානුකූලව පිළියම් කරව්ද, අපි තොපගේ ඒ වරද පිළිගනිමු. මහණෙනි, යමෙක් වරද වරද වශයෙන් දැක, ධර්මානුරූපව පිළියම් කෙරෙයිද, මත්තෙහි සංවරයෙහි පිහිටයිද, මෙය ආර්‍ය්‍ය විනයෙහි වැඩීම වන්නේය.

(හයවෙනි ඕවාද සූත්‍රය නිමි)