සංයුත්තනිකායො

නිදාන වර්ගය

5. කස්සප සංයුත්තය

7. ඕවාද සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක.

ඉක්බිති, ආයුෂ්මත් මහා කස්සපතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන්හට භාග්‍යවතුන් වහන්සේ මෙය දෙශනා කළසේක. “කස්සපය භික්ෂූන්හට අවවාද කරව, කස්සපය භික්ෂූන්හට ධර්මදේශනා කරව, කස්සපය, මම හෝ භික්ෂූන්හට අවවාද කරන්නෙමි. නුඹ හෝ කරව, මම හෝ භික්ෂූන්හට දැහැමි කථාවක් (ධර්මදෙශනාවක්) කරන්නෙමි. නුඹ හෝ කරවයි” කියායි. “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, දැන් භික්ෂූන් වනාහි දුර්වච වූවාහු දුර්වචබව ඇතිකරණ කරුණුවලින් යුක්තවූවාහු නොඉවසන්නාහු, අනුශාසනාව ගෞරවයෙන් නො පිළිගන්නාහුය.

“ස්වාමීනි, යම් කිසිවෙකුහට කුශලධර්මයන්හි ශ්‍රද්ධාව නැත්තේවේද, කුශලධර්මයන්හි, ලජ්ජාව (හිරි) නැත්තේවේද, කුශලධර්මයන්හි භය (ඔත්තප්ප) නැත්තේ වේද, කුශලධර්මයන්හි වීර්‍ය්‍යය නැත්තේ වේද, කුශලධර්මයන්හි ප්‍රඥාව නැත්තේ වේද, ඔහුට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණෙත්ද, කුශලධර්මයන්හි හානියම කැමති විය යුත්තේය. වෘද්ධිය (වැඩීම) කැමැති නොවිය යුත්තේය. ස්වාමීනි, යම්සේ වනාහි අවපක්ෂයෙහි චන්ද්‍රයාට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණේද, (එය) වර්ණයෙන්, මණ්ඩලයෙන්, ආලෝකයෙන් සහ ආරෝහපරිණාහ (උසමහත්) සම්පත්තියෙන්ද පිරිහේමය. ස්වාමීනි, එසේම යම්කිසිවෙකුහට කුශලධර්මයන්හි ශ්‍රද්ධාව නැත්තේවේද, කුශලධර්මයන්හි ලජ්ජාව (හිරි) නැත්තේවේද, කුශලධර්මයන්හි භය (ඔත්තප්ප) නැත්තේ වේද, කුශලධර්මයන්හි වීර්‍ය්‍යය නැත්තේවේද, කුශලධර්මයන්හි ප්‍රඥාව නැත්තේවේද, ඔහුට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණෙත්ද, කුශලධර්මයන්හි හානියම කැමැතිවිය යුත්තේය. වෘද්ධිය (වැඩීම) කැමැති නොවිය යුත්තේය.

“ස්වාමීනි, අශ්‍රද්ධාවත් පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. ස්වාමීනි, පාපයට ලජ්ජානැති පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. ස්වාමීනි, පාපයට භය නැති පුරිස පුද්ගලයා යනු පරිහානිය මැයි. ස්වාමීනි, කුසීත පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. ස්වාමීනි, ප්‍රඥාව නැති පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. ස්වාමීනි, ක්‍රොධකරන පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. ස්වාමීනි, වෛරකරන පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. ස්වාමීනි, මොහුට අවවාද කරන්නාවූ කල්‍යාණමිත්‍රයෝ නැත යනු පරිහානියමැයි. ස්වාමීනි, යම් කිසිවෙකුහට කුශලධර්මයන්හි ශ්‍රද්ධාව ඇත්තේවේද, කුශල ධර්මයන්හි, ලජ්ජාව (හිරි) ඇත්තේවේද කුශලධර්මයන්හි භය (ඔත්තප්ප) ඇත්තේවේද, කුශල ධර්මයන්හි වීර්‍ය්‍යය ඇත්තේවේද? ඔහුට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණෙත්ද, කුශල ධර්මයන්හි වෘද්ධියම (වැඩීමම) කැමැතිවිය යුත්තේය. හානිය කැමැති නොවිය යුත්තේය. ස්වාමීනි, යම්සේ වනාහි පුර පක්ෂයෙහි චන්ද්‍රයාට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණෙත්ද, (එය) වර්ණයෙන්, මණ්ඩලයෙන්, ආලෝකයෙන් සහ ආරෝහ පරිණාහ (උස්මහත්) සම්පත්තියෙන්ද වැඬේමය.

“ස්වාමීනි, එසේම යම් කිසිවෙකුහට කුශල ධර්මයන්හි ශ්‍රද්ධාව ඇත්තේ වේද, කුශල ධර්මයන්හි ලජ්ජාව (හිරි) ඇත්තේවේද, කුශලධර්මයන්හි භය (ඔත්තප්ප) ඇත්තේ වේද, කුශලධර්මයන්හි වීර්‍ය්‍යය ඇත්තේවේද, කුශල ධර්මයන්හි ප්‍රඥාව ඇත්තේ වේද, ඔහුට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණෙත්ද, කුශල ධර්මයන්හි වෘද්ධියම කැමැති විය යුත්තේය. හානිය කැමැති නොවිය යුත්තේය.

“ස්වාමීනි, ශ්‍රද්ධාවත් පුරුෂ පුද්ගලයා යනු දියුණුවමැයි. ස්වාමීනි, පාපයට ලජ්ජා ඇති පුරිස පුද්ගලයා යනු දියුණුව මැයි. ස්වාමීනි, පාපයට භය ඇති පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. ස්වාමීනි, පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇති පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. ස්වාමීනි, ප්‍රඥාව ඇති පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. ස්වාමීනි, ක්‍රොධ නොකරන පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. ස්වාමීනි, වෛර නොකරන පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. ස්වාමීනි, මොහුට අවවාදකරන කල්‍යාණමිත්‍රයෝ ඇත යනු දියුණුවමැයි.”

යහපති! යහපති!, කස්සපය, කස්සපය, යම්කිසිවෙකුහට කුශලධර්මයන්හි ශ්‍රද්ධාව නැත්තේවේද, කුශලධර්මයන්හි ලජ්ජාව (හිරි) නැත්තේවේද, කුශලධර්මයන්හි භය (ඔත්තප්ප) නැත්තේවේද, කුශලධර්මයන්හි වීර්‍ය්‍යය නැත්තේවේද, කුශල ධර්මයන්හි ප්‍රඥාව නැත්තේවේද, ඔහුට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණෙත්ද, කුශලධර්මයන්හි හානියම කැමැති විය යුත්තේය. වෘද්ධිය (වැඩීම) කැමැති නොවිය යුත්තේය. කස්සපය, යම්සේ වනාහි අවපක්ෂයෙහි චන්ද්‍රයාහට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණේද, (එය) වර්ණයෙන්, මණ්ඩලයෙන්, ආලෝකයෙන්, සහ ආරොහපරිණාහ සම්පත්තියෙන්ද, පිරිහේමය. කස්සපය, එසේම වනාහි යම්කිසිවෙකුහට කුශලධර්මයන්හි ශ්‍රද්ධාව නැත්තේවේද. කුශලධර්මයන්හි ලජ්ජාව (හිරි) නැත්තේවේද, කුශලධර්මයන්හි භය (ඔත්තප්ප) නැත්තේවේද, කුශලධර්මයන්හි වීර්‍ය්‍යය නැත්තේවේද, කුශල කර්මයන්හි ප්‍රඥාව නැත්තේවේද. ඔහුට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණෙත්ද, කුශලධර්මයන්හි හානියම කැමැති විය යුත්තේය. වෘද්ධිය (වැඩීම) කැමැති නොවිය යුත්තේය.

“කස්සපය, අශ්‍රද්ධාවත් පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. කස්සපය, පාපයට ලජ්ජා නැති පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. කස්සපය, පාපයට භය නැති පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. කස්සපය, කුසීත පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. කස්සපය, ප්‍රඥාවනැති, පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. කස්සපය, ක්‍රොධකරන පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. කස්සපය, වෛරකරන පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. කස්සපය, මොහුට අවවාද කරන්නාවූ කල්‍යාණ මිත්‍රයෝ නැත යනු පරිහානියමැයි. කස්සපය, යම්කිසිවෙකුහට කුශලධර්මයන්හි ශ්‍රද්ධාව ඇත්තේ වේද, කුශලධර්මයන්හි ලජ්ජාව (හිරි) ඇත්තේවේද? කුශල ධර්මයන්හි භය (ඔත්තප්ප) ඇත්තේවේද? කුශලධර්මයන්හි වීර්‍ය්‍යය ඇත්තේවේද, කුශලධර්මයන්හි ප්‍රඥාව ඇත්තේ වේද, ඔහුට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණෙත්ද, කුශලධර්මයන්හි වෘද්ධියම (වැඩීමම) කැමැතිවිය යුත්තේය. හානිය කැමති නොවිය යුත්තේය.

“කස්සපය, යම්සේ වනාහි පුරපක්ෂයෙහි චන්ද්‍රයාහට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණෙත්ද, (එය) වර්ණයෙන්, මණ්ඩලයෙන්, ආලෝකයෙන් සහ ආරොහපරිණාහ සම්පත්තියෙන්ද වැඬේමය. කස්සපය, එසේම වනාහි යම්කිසිවෙකුහට කුශලධර්මයන්හි ශ්‍රද්ධාව ඇත්තේ වේද, කුශලධර්මයන්හි ලජ්ජාව (හිරි) ඇත්තේවේද, කුශල ධර්මයන්හි භය (ඔත්තප්ප) ඇත්තේවේද, කුශලධර්මයන්හි වීර්‍ය්‍යය ඇත්තේවේද, කුශලධර්මයන්හි ප්‍රඥාව ඇත්තේවේද ඔහුට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණෙත්ද, කුශල ධර්මයන්හි වෘද්ධියම කැමැතිවිය යුත්තේය. හානිය කැමැති නොවිය යුත්තේය.

“කස්සපය, ශ්‍රද්ධාවත් පුරුෂ පුද්ගලයා යනු දියුණුව මැයි. කස්සපය, පාපයට ලජ්ජාව ඇති පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. කස්සපය, පාපයට භය ඇති පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. කස්සපය, පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇති පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. කස්සපය, ප්‍රඥාව ඇති, පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. කස්සපය, ක්‍රොධ නොකරන පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. කස්සපය, වෛර නොකරන පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. කස්සපය, මොහුට අවවාද කරන කල්‍යාණ මිත්‍රයෝ ඇත යනු දියුණුවමැයි.

(හත්වෙනි ඕවාද සූත්‍රය නිමි.)