සංයුත්තනිකායො

නිදාන වර්ගය

5. කස්සප සංයුත්තය

8. ඕවාද සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක.

ඉක්බිති ආයුෂ්මත් මහා කස්සපතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් හට භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. “කස්සපය භික්ෂූන්හට අවවාද කරව. කස්සපය භික්ෂූන්හට ධර්මය දේශනා කරව. කස්සපය, මම හෝ භික්ෂූන්හට අවවාද කරන්නෙමි. නුඹ හෝ කරව. මම හෝ භික්ෂූන්හට දැහැමි කථාවක් (ධර්මදේශනාවක්) කරන්නෙමි. නුඹ හෝ කරවයි” කියායි. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් භික්ෂූහු වනාහි දුර්වචවූවාහු දුර්වච බව ඇතිකරන කරුණුවලින් යුක්ත වූවාහු. නොඉවසන්නාහු, අනුශාසනාව ගෞරවයෙන් නොපිළිගන්නාහුය.”

කස්සපය, එසේමය පෙර ස්ථවිර භික්ෂූහු වනාහි ආරණ්‍යකයෝද, ආරණ්‍යකත්වයෙහි ගුණ කියන්නෝද වූවාහුය. පිණ්ඩපාතිකයෝද, පිණ්ඩපාතයෙහි ගුණකියන්නෝද වූවාහුය. පාංසුකූලිකයෝද, පාංසුකූලිකත්වයෙහි ගුණ කියන්නෝද වූවාහුය. තේචීවරිකයෝද, තේචීවරිකත්වයෙහි ගුණ කියන්නෝද වූවාහුය. අල්පෙච්ඡයෝද, අල්පෙච්ඡභාවයෙහි ගුණ කියන්නෝද වූවාහුය. ලද දෙයින් සතුටුවූවෝද, ලද දෙයින් සතුටුවීමෙහි ගුණ කියන්නෝද, වූවාහුය. විවේකයෙන් යුක්තවූවෝද, විවේකයෙන් යුක්තවීමෙහි ගුණ කියන්නෝද වූවාහුය. පිරිස් හා නොගැටීමෙන් යුක්තවූවෝද, පිරිස් හා නොගැටීමෙහි ගුණ කියන්නෝද, වූවාහුය. පටන්ගන්නාලද වීර්‍ය්‍ය ඇත්තෝද, පටන්ගන්නාලද වීර්‍ය්‍යයෙහි ගුණ කියන්නෝද, වූවාහුය. එහිදී යම් භික්ෂුවක් ආරණ්‍යකත්, ආරණ්‍යකත්වයෙහි ගුණ කියන්නේත් වේද, පිණ්ඩපාතිකත්, පිණ්ඩපාතිකත්වයෙහි ගුණ කියන්නේත්වේද, පාංසුකූලිකත් පාංසුකූලිකත්වයෙහි ගුණකියන්නේත්වේද, තේචීවරිකත් තේචීවරිකත්වයෙහි ගුණකියන්නේත් වේද, අල්පෙච්ඡත් අල්පෙච්ඡ භාවයෙහි ගුණ කියන්නේත් වේද, ලදදෙයින් සතුටුවූයේත්, ලදදෙයින් සතුටුවීමෙහි ගුණ කියන්නේත් වේද අතිශය විවේකයෙන් යුක්තවූයේත්, අතිශය විවේකයෙන් යුක්තවීමෙහි ගුණ කියන්නේත් වේද, පිරිස් හා නොගැටීමෙන් යුක්තවූයේත්, පිරිස් හා නොගැටීමෙහි ගුණ කියන්නේත් වේද, පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තේත්, පටන්ගන්නාලද වීර්‍ය්‍යයෙහි ගුණ කියන්නේත් වේද, ඒ මහණහට ස්ථවිර භික්ෂූහු ආසනයෙන් නිමන්ත්‍රණය කෙරෙති. (ආසනය දෙති) (කෙසේද?) ‘මහණ, (මෙහි) එන්න මේ මහණතෙම කිනම් ඇත්තේද? මේ මහණතෙම භද්‍රය (යහපත්ය.) මේ මහණ තෙම ශික්ෂාකාමීවේ. මහණ, මෙහි එන්න. මේ ආසනයෙහි හිඳගන්න’ කියායි.”

“කස්සපය, එකල්හි නවක භික්ෂූන්ට මෙසේ සිතෙයි. යම් ඒ භික්ෂුවක් වනාහි ආරණ්‍යකත් ආරණ්‍යකත්වයෙහි ගුණ කියන්නේත් වේද, පිණ්ඩපාතිකත්, පිණ්ඩපාතිකත්වයෙහි ගුණ කියන්නේත් වේද, පාංසුකූලිකත් පාංසුකූලිකත්වයෙහි ගුණකියන්නේත් වේද, තේචීවරිකත් තේචීවරිකත්වයෙහි ගුණ කියන්නේත් වේද, අල්පෙච්ඡත් අල්පෙච්ඡභාවයෙහි ගුණකියන්නේත් වේද, ලද දෙයින් සතුටුවූයේත්, ලද දෙයින් සතුටුවීමෙහි ගුණ කියන්නේත් වේද, අතිශය විවේකයෙන් යුක්තවූයේත්, අතිශය විවේකයෙන් යුක්තවීමෙහි ගුණ කියන්නේත් වේද, පිරිස් හා නොගැටීමෙන් යුක්තවූයේත්, පිරිස් හා නොගැටීමෙහි ගුණ කියන්නේත් වේද, පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තේත්, පටන්ගන්නාලද වීර්‍ය්‍යයෙහි ගුණ කියන්නේත් වේද, ඒ මහණහට ස්ථවිර භික්ෂූහු ආසනයෙන් නිමන්ත්‍රණය කෙරෙති. (ආසනය දෙති.) (කෙසේද?) ‘මහණ, (මෙහි) එන්න. මේ මහණතෙම කිනම් ඇත්තේද? මේ මහණතෙම භද්‍රය (යහපත්ය.) මේ මහණ තෙම ශික්ෂාකාමීවේ. මහණ, මෙහි එන්න. මේ ආසනයෙහි හිඳගන්න” කියායි. ඔවුහු ඒ සඳහා පිළිපදිති. ඔවුන්ට ඒ පිළිපැදීම බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත, සැප පිණිස වෙයි.

“කස්සපය, දැන් වනාහි ස්ථවිර භික්ෂූහු, ආරණ්‍යක වන්නෝත්, ආරණ්‍යක භාවයෙහි ගුණ කියන්නෝත් වෙති. පිණ්ඩපාතික වන්නෝත් පිණ්ඩපාතිකත්වයෙහි ගුණ කියන්නෝත් වෙති. පංසුකූලික වන්නෝත් පාංසුකූලිකත්වයෙහි ගුණ කියන්නෝත් වෙති. තේචීවරික වන්නෝත් තේචීවරිකත්වයෙහි ගුණ කියන්නෝත් වෙති. අල්පෙච්ඡ වන්නෝත් අල්පෙච්ඡ භාවයෙහි ගුණ කියන්නෝත් වෙති. ලදදෙයින් සතුටු වන්නෝත් ලදදෙයින් සතුටුවීමෙහි ගුණ කියන්නෝත් වෙති. අතිශය විවේකයෙන් යුක්ත වන්නෝත් අතිශය විවේකයෙන් යුක්ත වීමෙහි ගුණ කියන්නෝත් වෙති. පිරිස් හා ගැටීමෙන් යුක්ත වන්නෝත් පිරිස් හා නොගැටීමෙහි ගුණ කියන්නෝත් වෙති. පටන්ගන්නාලද වීර්‍ය්‍යයෙන් යුක්ත වන්නෝත් පටන්ගන්නාලද වීර්‍ය්‍යයෙහි ගුණ කියන්නෝත් වෙති. එහිදී යම් භික්ෂුවක් ප්‍රසිද්ධ වූයේත්, කීර්තියෙන් යුක්ත වූයේත්, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස සහ බෙහෙත් පිරිකර ලැබීමෙන් යුක්තවූයේත් වේද, ඔහුට ස්ථවිර භික්ෂූහු ආසනයෙන් නිමන්ත්‍රණය කෙරෙත්. (ස්ථවිර භික්ෂූහු ඔහුට ආසනයෙහි වාඩිවීමට ආරාධනා කෙරෙති) (කෙසේද?) ‘මහණ, එන්න. මේ මහණතෙම කිනම් ඇත්තේද? මේ මහණතෙම ඒකාන්තයෙන් යහපත් (භද්‍ර) දැකුම් ඇත්තේය. ඒ මහණතෙම ඒකාන්තයෙන් සබ්‍රහ්ම චාරීන්ට කැමැත්තේය. එන්න මහණ මේ ආසනයෙහි හිඳගන්න කියායි”

කස්සපය, එහිදී, නවක භික්ෂූන්ට මෙසේ සිතෙයි. යම් ඒ භික්ෂුවක් වනාහි ප්‍රසිද්ධ වූයේත්, කීර්තියෙන් යුක්තවූයේත්, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස සහ බෙහෙත් පිරිකර ලැබීමෙන් යුක්තවූයේත් වේද, ඔහුට ස්ථවිර භික්ෂූහු ආසනයෙහි වාඩිවීමට ආරාධනා කෙරෙති (කෙසේද?) ‘මහණ, එන්න. මේ මහණතෙම කිනම් ඇත්තේද? මේ මහණ තෙම ඒකාන්තයෙන් යහපත් (භද්‍ර) දැකුම් ඇත්තේය. මේ මහණතෙම ඒකාන්තයෙන් සබ්‍රහ්මචාරීන්ට කැමැත්තේය. එන්න මහණ, මේ ආසනයෙහි හිඳගන්න කියායි.’ ඔවුහු ඒ ලාභසත්කාර ඉපැද්දීම සඳහා පිළිපදිති. ඔවුන්ට ඒ පිළිපැදීම බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත සැප පිණිස නොවෙයි.

“කස්සපය, යම් හෙයකින් ඒගැන මනාකොට කියන්නේ (මෙසේ) කියන්නේය. (කෙසේද?) ‘බ්‍රහ්මචාරීහු බ්‍රහ්මචාරී උපද්‍රවයෙන් (සිව්පසය කෙරෙහිවූ අධික ලෝභකමින්) උපදෘතවූවාහුය. බ්‍රහ්මචාරීහු බ්‍රහ්මචාරී අභිභවනයෙන් (අධික ප්‍රාර්ථනාවෙන්) අභිභවනය (යුක්ත) වූවාහුය, කියායි. කස්සපය, ඒගැන මනාකොට කියන තැනැත්තේ මෙසේ කියන්නේය. (කෙසේද?) ‘බ්‍රහ්මචාරීහු බ්‍රහ්මචාරී උපද්‍රවයෙන් (සිව්පසය කෙරෙහිවූ අධික ලෝභකමින්) උපදෘතවූවාහුය. බ්‍රහ්මචාරීහු බ්‍රහ්මචාරී අභිභවනයෙන් (සිව්පසය කෙරෙහිවූ අධික ප්‍රාර්ථනාවෙහි.) අභිභවනය (අධිකසේ ප්‍රාර්ථනා කරන්නෝ) වූවාහුය, කියායි.”

(අටවෙනි ඕවාද සූත්‍රය නිමි.)