සංයුත්තනිකායො

නිදාන වර්ගය

5. කස්සප සංයුත්තය

9. ඣානාභිඤ්ඤා සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, මම යම්තාක්කල් කැමැති වෙම්ද, ඒතාක් කාමයන්ගෙන් වෙන්වම (සියලු) අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමද්ධ්‍යානයට පැමිණ, වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කැමැති වෙයිද, ඒතාක් කාමයන්ගෙන් වෙන්වම (සියලු) අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමද්ධ්‍යානයට පැමිණ, වාසය කරයි.

“මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද, ඒතාක් විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇති කරන්නාවූ, හිතේ එකඟ බව ඇති කරන්නාවූ, විතර්ක රහිතවූ විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයද්ධ්‍යානයට පැමිණ වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇති කරන්නාවූ, හිතේ එකඟ බව ඇති කරන්නාවූ විතර්ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයද්ධ්‍යානයට පැමිණ වාසය කරයි.

“මහණෙනි, මම යම්තාක් කල් කැමතිවෙම්ද ඒතාක් ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසයකරමි. සිහියෙන් යුක්තවූයේ කයින් වින්දෙමි. යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද ඒ තුන්වනද්ධ්‍යානයට පැමිණ වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද ඒතාක් ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරයි. සිහියෙන් යුක්තවූයේ කයින් විඳියි. යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද ඒ තුන්වනද්ධ්‍යානයට පැමිණ වාසය කරයි.

“මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද ඒතාක් සැපය නැති කිරීමෙන්, දුක නැති කිරීමෙන්, කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති සතරවන ද්ධ්‍යානයට පැමිණ, වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් සැපය නැති කිරීමෙන් දුක් නැති කිරීමෙන්, කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන් දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති සතරවන ද්ධ්‍යානයට පැමිණ වාසය කරයි.

“මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද ඒතාක් සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන්, පටිඝ ගැටීම් සංඥාවන් නැති කිරීමෙන්, නානත්ත සංඥාවන් මෙනෙහි නො කිරීමෙන් ‘ආකාසය අනන්තයයි’ ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම් තාක් කල් කැමැතිවෙයිද, ඒතාක් සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් පටිඝ ගැටීම් සංඥාවන් නැතිකිරීමෙන් නානත්ත සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ‘ආකාසය අනන්තයයි’ ආකාසානඤ්චායතනයට පැමිණ, වාසය කරයි.

‘මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද ඒතාක් සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා, ‘විඤ්ඤාණය’ අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද ඒතාක් සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා, ‘විඤ්ඤාණය අනන්තයයි’ විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි.

“මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද ඒතාක් සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා, කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ, වාසය කරමි. මහණෙනි, කාශ්‍යප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද ඒතාක් සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි.

“මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද ඒතාක් සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ, වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැතිවෙයිද ඒතාක් සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ, වාසය කරයි.

“මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද ඒතාක් සියලු ආකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ, වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැතිවෙයිද ඒතාක් සියලු ආකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වාසය කරයි.

“මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද ඒතාක් නොයෙක් ආකාරවූ, ඍද්ධිවිධි වෙන් වෙන් කොට (අනුභව කරමි) දක්වමි. (කෙසේද?) එකෙක්ව බොහෝ වෙමි. බොහෝ සේව එකෙක් වෙමි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය විනිවිද, පවුර විනිවිද, පර්වතය විනිවිද, නොහැපෙමින් යමි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම් මතුවීම් කරමි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබිඳ ගමන් කරමි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්‍ය්‍යංකයෙන් (අරමිණිය ගොතා) හිඳගෙනම යමි. මේ මහත් ඍද්ධි ඇති, මහත් අනුභාව ඇති, සඳහිරු දෙදෙන අතගාමි. පිරිමදිමි. බඹලොව තෙක් ශරීරයෙන් වසඟ කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැතිවෙයිද, ඒතාක් නොයෙක් ආකාරවූ, ඍද්ධිවිධි වෙන් වෙන් කොට (අනුභව කරයි.) දක්වයි. (කෙසේද?) එකෙක්ව බොහෝ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය විනිවිද, පවුර විනිවිද, පර්වතය විනිවිද, නොහැපෙමින් යයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම් මතුවීම් කරයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබිඳ ගමන් කරයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්‍ය්‍යංකයෙන් (අරමිණිය ගොතා) හිඳගෙනම යයි. මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභාව ඇති, සඳ හිරු දෙදෙන අතගායි. පිරිමදියි. බඹලොව තෙක් ශරීරයෙන් වසඟ කරයි.

මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද, ඒතාක් පිරිසුදුවූ, මිනිස් කණ ඉක්මවා පැවැත්තාවූ, දිවකණින් දිව්‍යමය වූද, මනුෂ්‍යමය වූද, දුරවූද, ළඟවූද, ශබ්ද අසමි. මහණෙනි, කස්සපතෙමේද යම්තාක් කල් කැමැති වෙයිද ඒතාක් පිරිසුදුවූ, මිනිස් කණ ඉක්මවා පැවැත්තාවූ දිව කණින් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරවූද, ළඟවූද, ශබ්ද අසයි.

මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද, ඒතාක් අන්‍ය සත්වයින්ගේ අන්‍ය පුද්ගලයින්ගේ සිත තමාගේ සිතින් පිරිසිඳ දනිමි. (කෙසේද?) රාග සහිත සිත රාග සහිත සිත යයි දනිමි. රාග රහිත සිත රාග රහිත සිතයයි දනිමි. ද්වෙෂ සහිත සිත ද්වෙෂ සහිත සිතයයි දනිමි. ද්වෙෂ රහිත සිත ද්වෙෂ රහිත සිතයයි දනිමි. මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දනිමි. මෝහ රහිත සිත මෝහ රහිත සිතයයි දනිමි. විසුරුණු සිත විසුරුණු සිතයයි දනිමි. මහත් බවට ගිය සිත මහත් බවට ගිය සිතයයි දනිමි. මහත් බවට නොගිය සිත මහත් බවට නොගිය සිතයයි දනිමි. කාම සහිත සිත කාම සහිත සිතයයි දනිමි. ලෞකික සිත් අතුරෙන් උසස්ම සිත අනුත්තර සිත යයි දනිමි. සමාධි ගතවූ සිත සමාධිගතවූ සිතයයි දනිමි. සමාධිගත නොවූ සිත සමාධිගත නොවූ සිතයයි දනිමි. (ක්ලෙශයන්ගෙන්) මිදුණු සිත (ක්ලෙශයන්ගෙන්) මිදුනු සිත යයි දනිමි. (ක්ලෙශයන්ගෙන්) නොමිදුනු සිත (ක්ලෙශයන්ගෙන්) නොමිදුණු සිතයයි දනිමි. මහණෙනි, කස්සපතෙමේද යම්තාක් කල් කැමැතිවෙයිද, ඒතාක් අන්‍ය සත්වයින්ගේ අන්‍ය පුද්ගලයින්ගේ සිත තමාගේ සිතින් පිරිසිඳ දනියි. (කෙසේද?) රාග සහිත සිත රාග සහිත සිතයයි දනියි. රාග රහිත සිත රාග රහිත සිතයයි දනියි. ද්වෙෂ සහිත සිත ද්වෙෂ සහිත සිතයයි දනියි. ද්වෙෂ රහිත සිත ද්වෙෂ රහිත සිතයයි දනියි. මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දනියි. මෝහ රහිත සිත මෝහ රහිත සිතයයි දනියි. හැකුළුණු සිත හැකුළුණු සිතයයි දනියි. විසුරුණු සිත විසුරුණු සිතයයි දනියි. මහත් බවට ගිය සිත මහත් බවට ගිය සිතයයි දනියි. මහත් බවට නොගිය සිත මහත් බවට නොගිය සිතයයි දනියි. කාම සහිත සිත කාම සහිත සිතයයි දනියි. ලෞකික සිත ලෞකික සිත් අතුරෙන් උසස්ම සිත අනුත්තර සිතයයි දනියි. සමාධි ගතවූ සිත සමාධිගතවූ සිතයයි දනියි. සමාධිගත නොවූ සිත සමාධිගත නොවූ සිතයයි දනියි. (ක්ලෙශයන්ගෙන්) මිදුනු සිත (ක්ලෙශයන්ගෙන්) මිදුනු සිතයයි දනියි. (ක්ලෙශයන්ගෙන්) නොමිදුනු සිත (ක්ලෙශයන්ගෙන්) නොමිදුනු සිතයයි දනියි.

මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද ඒතාක් නානාප්‍රකාරවූ පෙර වාසය කළ තැන් සිහිකරමි. (හේ කෙසේද?) එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශ වෙන) කල්පයන්ද, නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද අසවල් තැන උපන්නෙමි. එහි මෙනම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ ඇත්තේ වීමි. ඒ මම එතැනින් චුතව මේ මනුෂ්‍යාත්ම භාවයෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිත වූ, උදෙසීම් සහිතවූ, නානාප්‍රකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරමි. මහණෙනි, කස්සපතෙමේද යම්තාක් කල් කැමැතිවෙයිද, ඒතාක් නානාප්‍රකාරවූ පෙර වාසය කළ තැන් සිහිකරයි. (හේ කෙසේද?) ‘එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිහක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශවෙන) කල්පයන්ද, නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත, විවර්ත කල්පයන්ද අසවල් තැන උපන්නෙමි. එහි මෙනම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ ඇත්තේ වීමි. ඒ මම එතැනින් චුතව මේ මනුෂ්‍යාත්ම භාවයෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිතවූ උදෙසීම් සහිතවූ, නානාප්‍රකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහිකරයි.

මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද, ඒතාක් පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටියාවූ දිවැසින් චුත වන්නා වූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය අනුව මිය පරලොව ගියාවූ සත්වයන් දකිමි. (කෙසේද?) ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනෝ දුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආර්‍ය්‍යයන්හට දොස් කීවාහු, මිථ්‍යා දෘෂ්ටිගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහවූ නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද?

මහණෙනි, මහාකස්සප තෙමේද යම්තාක් කල් කැමැතිවෙයිද ඒතාක් පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටියාවූ දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය අනුව මිය පරලොව ගියාවූ සත්වයන් දකියි. (කෙසේද?) ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනෝ දුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආර්‍ය්‍යයන් හට දොස් කීවාහු, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද? දැනගනිමි. මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, ආර්‍ය්‍යයන්හට දොස් නොකීවාහු, සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු, සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන්වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටී. දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ, (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ, (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය පරිදි මිය පරලොව ගියාවූ සත්වයන් දැනගනිමි.

මහණෙනි මම ආශ්‍රවයන් (කෙලෙස්) ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ, චේතෝ විමුත්තියදත අර්හත් ඵල සමාධියද, පඤ්ඤාවිමුත්තියද (අර්හත් ඵල ප්‍රඥාවද) මේ ආත්මයෙහිදී තෙමේම දැන ප්‍රත්‍යක්ෂ කොට, ඊට පැමිණ, වාසය කරමි. මහණෙනි, කස්සපතෙමේද ආශ්‍රවයන් (කෙලෙස්) ක්ෂය කිරීමෙන්, ආශ්‍රව රහිතවූ, චේතෝ විමුත්තියද (අර්හත් ඵල සමාධියද) පඤ්ඤාවිමුත්තියද (අර්හත් ඵල ප්‍රඥාවද) මේ ආත්මයෙහිදී තෙමේම දැන, ප්‍රත්‍යක්ෂ කොට, ඊට පැමිණ වාසය කරයි.

(නවවෙනි ඣානාභිඤ්ඤා සූත්‍රය නිමි.)