සංයුත්තනිකායො

සගාථ වර්ගය

2. දෙවපුත්ත සංයුත්තය

2. අනාථපිණ්ඩික වර්‍ගය

10. අනාථපිණ්ඩිකසුත්තං

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් නරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු අනේපිඬු දෙව්පුත් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය.

එක් පසෙක සිටි අනේපිඬු දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය.

’’ඎෂි සමූහයා විසින් නිතර සේවනය කරනලද ධර්‍ම රාජයන් වහන්සේ විසින් විසුම්ගත් මේ ජේතවනය මට ප්‍රීති උපදවන්නේය.

’’කර්‍මයද, ප්‍රඥාවද, සමාධියද, උතුම්වූ සිල්වත් ජීවිතයද යන මෙයින් සත්ත්‍වයෝ ශුද්‍ධ වෙති. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ ශුද්‍ධවීමෙක් නැත.

’’එබැවින් නුවණැති, තමාගේ දියුණුව දක්නා පුරුෂයා ධර්‍මය නුවණින් විමසා බැලියයුතු. මෙසේ එහිලා ඔහු පිරිසිදුවේ.

’’ප්‍රඥායෙනුත්, ශීලයෙනුත්, කෙලෙස් සංසිඳුවීමෙනුත්, සැරියුත් තෙරණුවෝම ශ්‍රාවකයන් අතුරෙහි වැඩිහිටියෝය. පරතෙර පත් (නිවන් ලත්) යම් භික්‍ෂුවරයෙක් වේ නම් ඔවුන් අතුරෙන් මේ සැරියුත් තෙරුන් වහන්සේම උතුමි.’’

අනේපිඬු දෙව්පුත් තෙම මෙය කීය. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහිම නොපෙනී ගියේය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැය ඇවෑමෙන් භික්‍ෂූන් ඇමතූසේක. ’’මහණෙනි, මේ රෑ එක්තරා දිව්‍ය පුත්‍රයෙක් රැය බොහෝ ගතවූ පසු බබළන ශරීර පුභා ඇත්තේ මුළු ජේතවනය බබුළුවා මා වෙත පැමිණියේය. පැමිණ, මා වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටියේම ඔහු මා සමීපයෙහි,

’’ඎෂි සමූහයා විසින් නිතර සේවනය කරනලද ධර්‍ම රාජයන් වහන්සේ විසින් විසුම්ගත් මේ ජේතවනය මට ප්‍රීති උපදවන්නේය.

’’කර්‍මයද, ප්‍රඥාවද, සමාධියද, උතුම්වූ සිල්වත් ජීවිතයද යන මෙයින් සත්ත්‍වයෝ ශුද්‍ධ වෙති. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ ශුද්‍ධවීමෙක් නැත.

’’එබැවින් නුවණැති, තමාගේ දියුණුව දක්නා පුරුෂයා ධර්‍මය නුවණින් විමසා බැලියයුතු. මෙසේ එහිලා ඔහු පිරිසිදුවේ.

’’ප්‍රඥායෙනුත්, ශීලයෙනුත්, කෙලෙස් සංසිඳුවීමෙනුත්, සැරියුත් තෙරණුවෝම ශ්‍රාවකයන් අතුරෙහි වැඩිහිටියෝය. පරතෙර පත් (නිවන් ලත්) යම් භික්‍ෂුවරයෙක් වේ නම් ඔවුන් අතුරෙන් මේ සැරියුත් තෙරුන් වහන්සේම උතුම්යයි කීය.

මහණෙනි, ඒ දෙව්පුත් මෙසේ කීය. මෙසේ කියා මා වැඳ පැදකුණු කොට එහිම නොපෙනී ගියේය.’’

මෙසේ වදාළවිට ආයුෂ්මත් ආනත්‍ද ස්ථවිරතෙම ’’ස්වාමීණි, ඒකාන්කයෙන් ඔහු අනේපිඬු දෙව්පුකු විය යුතුය. අනේපිඬු ගෘහපති තෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ කෙරෙහි වෙසෙසින් පැහැදුණෙක් විය, එබැවිනි’’යි කීයේය.

’’ආනන්‍දය, මැනවි, මැනවි. ඔඔ විසින් සිතීමෙන් යම්තාක් පැමිණිය යුතු නම්, ඒතාක්ම පැමිණිණ. ආනන්‍දය, ඒ දෙව්පුත් අනාථපිණ්ඩිකමය’’යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)

දෙවෙනි අනාථපිණ්ඩික වර්‍ගයයි.