සංයුත්තනිකායො

නිදාන වර්ගය

9. ඕපම්ම සංයුත්තය

1. කූට සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, යම්සේ වනාහි කූටාගාරයක (කුළුගෙයක) යම්කිසි ගොනැසි (පරාල) වෙත්ද, ඒ සියල්ල මුදුනට ගමන් කළාහු, මුදුන හා එක්වූවාහු වෙත්ද, මුදුන බිඳීයාමෙන් ඒ සියල්ල විනාශයට යෙත්ද, මහණෙනි, එසේම වනාහි යම්කිසි අකුශල මූලයෝ වෙත්ද, ඒ සියල්ලම අවිද්‍යාවට ගමන් කරන්නාහු, අවිද්‍යාවට එක්වන්නාහු, අවිද්‍යාවට සම්බන්ධ වන්නාහු වෙත්. අවිද්‍යාව නැසීම හේතුකොටගෙන ඒ සියල්ලද විනාශයට යෙත්. මහණෙනි, එහෙයින් මෙහිදී තොප විසින් මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ‘අප්‍රමාදව වාසය කරමු’ කියායි. මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”

(පළමුවෙනි කූට සූත්‍රය නිමි.)