සංයුත්තනිකායො

නිදාන වර්ගය

9. ඕපම්ම සංයුත්තය

3. කුල සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තරදුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, යම්සේ වනාහි බොහෝ ස්ත්‍රීන් ඇත්තාවූ, ස්වල්ප පුරුෂයන් ඇත්තාවූ, යම්කිසි කුලයෝ වෙත්ද, ඒ කුලයෝ කුම්භත්ථෙනක (කළයක පහන් දල්වාගෙන ගොස් සොරකම් කරන) සොරුන් විසින් පහසුවෙන් පෙළිය හැක්කාහු වෙති. මහණෙනි, එසේම වනාහි යම්කිසි භික්ෂුවක් විසින් මෛත්‍රී භාවනා සමාධිය නොවඩන ලද්දේ, නැවත නැවත භාවිතා නොකරන ලද්දේ වේද, ඒ මහණතෙම අමනුෂ්‍යයන් විසින් පහසුවෙන් පෙළිය හැක්කේ වෙයි.

“මහණෙනි, යම්සේ වනාහි ස්වල්ප ස්ත්‍රීන් ඇත්තාවූ, බොහෝ පුරුෂයන් ඇත්තාවූ, යම්කිසි කුලයෝ වෙත්ද, ඒ කුලයෝ කුම්භත්ථෙනක සොරුන් විසින් පහසුවෙන් නොපෙළිය හැක්කාහු වෙති. මහණෙනි, එසේම වනාහි යම්කිසි භික්ෂුවක් විසින් මෛත්‍රී භාවනා සමාධිය වඩන ලද්දේ, නැවත නැවත භාවිතා කරන ලද්දේ වේද, ඒ මහණතෙම අමනුෂ්‍යයන් විසින් පහසුවෙන් නොපෙළිය හැක්කේ වෙයි. මහණෙනි, එනිසා මෙහිදී, මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ‘අප විසින් මෛත්‍රී භාවනා සමාධිය වඩන ලද්දේ, නැවත නැවත භාවිතා කරන ලද්දේ, යානාවක් මෙන් කරන ලද්දේ, වස්තුවක් මෙන් කරන ලද්දේ, එළඹ සිටින ලද්දේ, පුරුදු කරන ලද්දේ, මනාකොට පටන්ගන්නා ලද්දේ වන්නේය.’ කියායි. මහණෙනි, තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”

(තුන්වෙනි කුල සූත්‍රය නිමි.)