සංයුත්තනිකායො

නිදාන වර්ගය

10. භික්ඛු සංයුත්තය

10. ථෙරනාම සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම්වූ වේළුවනයෙහි (හුණ වනයෙහි) වාසයකරන සේක. එසමයෙහි වනාහි ථෙරනම් එක්තරා භික්ෂුවක්තෙම තනියම වාසය කරන්නේද, තනියම වාසය කිරීමෙහි ගුණ කියන්නේද වෙයි. ඒ මහණතෙම තනියම ගමට පිණ්ඩපාතයේ යයි. තනියම ආපසු එයි. තනියම, රහසිගතව හිඳියි. තනියම සක්මන් කෙරෙයි.

ඉක්බිති බොහෝ භික්ෂූහු වනාහි භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නාහුය. එක් පැත්තක හුන්නාවූ, ඒ භික්ෂූහු වනාහි භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය. “ස්වාමීනි, මෙහි ථෙර නම් එක්තරා භික්ෂුවක් තනියම හැසිරෙන්නේ, තනියම හැසිරීමේ ගුණද කියන්නේය” කියායි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වනාහි එක්තරා භික්ෂුවක්හට කථාකළ සේක. “මහණ, නුඹ (මෙහි) එව, මාගේ වචනයෙන් ඒ මහණහට කථාකරව. ‘ඇවැත, භාග්‍යවතුන් වහන්සේ නුඹට කථාකරන සේකැයි’ කියායි.” “එසේය ස්වාමීනියි” කියා ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තරදී, ඒ ථෙරනම් භික්ෂුව යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, ඒ මහණ හට මෙය කීයේය. “ඇවැත, භාග්‍යවතුන් වහන්සේ නුඹට කථාකරන සේකැයි” කියායි.

“ඇවැත, එසේයයි” ඒ ථෙරනම් මහණතෙම වනාහි ඒ මහණහට පිළිතුරුදී, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ඒ ථෙර නම් මහණහට වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක.

“ථෙරය, නුඹ තනියම වාසය කරන්නේ, තනියම වාසය කිරීමෙහි ගුණ කියන්නේය යනු සැබෑද?”

“එසේය ස්වාමීනි.”

“ථෙරය, නුඹ කෙසේ වනාහි තනියම වාසය කරන්නේ, තනියම වාසය කිරීමෙහි ගුණ කියන්නේද?”

“ස්වාමීනි, මම මෙහි තනියම ගමට පිණ්ඩපාතයේ යමි. තනියම ආපසු එමි. තනියම, රහසිගතව හිඳිමි. තනියම සක්මන් කරමි. ස්වාමීනි, මෙසේ වනාහි මම තනියම වාසය කරන්නේද, තනියම වාසය කිරීමෙහි ගුණ කියන්නේද වෙමියි” කීයේය.

“ථෙරය, මේ ශාසනයෙහි මේ තනිව වාසය කිරීම ඇත්තේය එය නැත්තේයයි නොකියමි. එහෙත් ථෙරය. යම්සේ වනාහි තනිව වාසය කිරීම විස්තර වශයෙන් සම්පූර්ණ වූයේ වේද, එය අසව. මනාකොට මෙනෙහි කරව. කියන්නෙමියි” වදාළ සේක. “ස්වාමීනි, එසේයයි” කියා ඒ ථෙරනම් භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය.

භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක. “ථෙරය, කෙසේ වනාහි තනිව වාසය කිරීම විස්තර වශයෙන් සම්පූර්ණ වූයේ වේද? ථෙරය, මෙහි අතීත කාලයෙහිවූ පඤ්චස්කන්ධයෙහි යම් ඡන්ද රාගයක් වූයේද එය ප්‍රහීණ කරන ලද්දේද, අනාගතයෙහි වන්නාවූ පඤ්චස්කන්ධයෙහි යම් ඡන්ද රාගයක් වූයේද, එය බැහැර කරන ලද්දේද, වර්තමාන ආත්මභාව ප්‍රතිලාභයෙහිවූ ඡන්දරාගය මනාකොට හික්මවන (නසන) ලද්දේවේද, ථෙරය, මෙසේ වනාහි තනිව වාසය කිරීම විස්තර වශයෙන් සම්පූර්ණවූයේ වේයයි” වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක. දේශනාකොට ඊට අනතුරුව භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව වදාළ සේක.

(ස්කන්ධ, ආයතන, ධාතු සහ ත්‍රිවිධ භවය යන) සියල්ල යටකොට සිටියාවූ, ස්කන්ධාදී සියලු ධර්මයන් දත්තාවූ, ස්කන්ධාදී සියලු ධර්මයන්හි තණ්හා දෘෂ්ටි වශයෙන් නො ඇලුනාවූ, ඒ සියලු ධර්මයන් දුරුකළාවූ, තණ්හාව ක්ෂය කිරීමෙන් නිවන් අවබෝධ කළාවූ, ඒ පණ්ඩිත මනුෂ්‍යතෙම තනිව වාසය කරන්නේයයි, මම කියමියි” වදාළ සේක.

(දසවෙනි ථෙරනාම සූත්‍රය නිමි.)