සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

1. නකුල පිතු වර්ගය

1. නකුල පිතු සූත්‍රය

නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ භග්ග නම් දනව්වෙහි සුංසුමාරගිරි නම් නුවර භෙසකලාවන නම්වූ මිගදායෙහි වැඩ වාසය කරන සේක.

එකල්හි වනාහි නකුලපිතු ගහපතිතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක උන්නේය. එකත්පසෙක උන්නාවූ නකුලපිතු ගෘහපතිතෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැල කෙළේය.

“ස්වාමීනි, මම ජරාවෙන් ජීර්ණ වූයේ වෙමි. වයසින් වෘද්ධවූයේ වෙමි. ජාතියෙන් මහළුවූයේ වෙමි. තුන්කල් ඉක්මගියේ වෙමි. පශ්චිම වයසට පැමිණියේ වෙමි. නිතර රෝගීවූ ගිලන්වූ සිරුරක් ඇත්තේ වෙමි. ස්වාමීනි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේ හා සිතේ දියුණුව ඇතිවන්නාවූ, භික්ෂූන්ද නිතර දක්නේ නොවෙමි. මට යමක් බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේද?’ ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට එයින් අවවාද කරන සේක්වා!’ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට එයින් අනුශාසනා කරන සේක්වා!”

“ගහපතිය, ඒ කාරණය එසේය, ගහපතිය, ඒ කාරණය එසේය. ගහපතිය, මේ කය ආතුරවූයේ වෙයි. බිජු වටක් මෙන් දුබල වූයේ වෙයි. සියුම්වූ සිවියකින් දැවටුනේ වෙයි. ගහපතිය, යමෙක් යම් කය පරිහරණය කරන්නේ මොහොතක් නමුත් ආරෝග්‍යය (නිරෝගී බව) ප්‍රතිඥා කරන්නේ නම් (එය ඔහුගේ) අඥාන බව හැර වෙන කුමක්ද? ගහපතිය, එහෙයින් තොප විසින් මෙහි මෙසේ හික්මිය යුතු ‘ආතුරවූ කයක් ඇත්තාවූ මාගේ සිත අනාතුර වන්නේය’ කියායි. ගහපතිය, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.”

ඉක්බිති, නකුලපිතු ගහපතිතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව එය අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ, පැදකුණු කොට ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි එළඹියේය. එළඹ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ නකුලපිතු ගහපතියාට ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළේය.

‘ගහපතිය, ඔබගේ ඉන්ද්‍රියයෝ විප්‍රසන්නයහ. (විශෙෂයෙන් පැහැදුනහ) මුඛවර්ණය (මූණෙහි පාට) පිරිසිදුය. නිර්මලය. අද (ඔබ) භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙන් දැහැමි කථාවක් ඇසීමට ලැබුයේ වෙහිද?”

“ස්වාමීනි, කිමද නැත්තේ.” “ස්වාමීනි, මේ දැන් මම භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කථාවවූ අමෘතයෙන් අභිෂෙක කරන ලද්දේ වෙමියි” කීය. “ගහපතිය ඔබ කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්ම කථාවවූ අමෘතයෙන් “අභිෂේක කරන ලද්දේද?” “ස්වාමීනි, මෙහි මම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි එළඹුනෙමි. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක උන්නෙමි. ස්වාමීනි, එකත්පසෙක හුන්නාවූ මම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවෙමි.

“ස්වාමීනි, මම ජරාවෙන් ජීර්ණවූයේ වෙමි. වයසින් වෘද්ධවූයේ වෙමි. ජාතියෙන් මහළුවූයේ වෙමි. තුන්කල් ඉක්මගියේ වෙමි. අන්තිම වයසට පැමිණියේ වෙමි. නිතර රෝගීවූ ආතුර (ලෙඩ) වූ සිරුරක් ඇත්තේ වෙමි. ස්වාමීනි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේ හා සිතේ දියුණුව උපදින භික්ෂූන්ද නිතර දක්නේ නොවෙමි. යමක් මට බොහෝ කලක් හිත පිණිස, සැප පිණිස වන්නේද? “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට එයින් අවවාද කරන සේක්වා!” ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට එයින් අනුශාසනා කරන සේක්වා යනුයි.

“ස්වාමීනි, මෙසේ කීකල්හි මට භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළසේක. ‘ගහපතිය, ඒ කාරණය එසේය. ගහපතිය, ඒ කාරණය එසේය. ගහපතිය, මේ කය ආතුරවූයේ වෙයි. බිජුවටක් මෙන් දුබලවූයේ වෙයි. (සියුම් සිවියකින් පමණක්) දැවටුනේවෙයි. ගහපතිය, යමෙක් වනාහි මේ කය පරිහරණය කරන්නේද (හෙතෙම) මොහොතක් නමුත් ආරෝග්‍යය (නිරෝගි බව) ප්‍රතිඥා කරන්නේ නම් (එය ඔහුගේ) අඥාන භාවය හැර වෙන කුමක්ද? එහෙයින් තොප විසින් මෙහි මෙසේ හික්මිය යුතු ‘ආතුරවූ කයක් ඇත්තාවූ මාගේ සිත අනාතුර වන්නේය’ කියායි. ගහපතිය, තොප විසින් මෙසේ හික්මිය යුතුය කියායි. ස්වාමීනි, මම මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කථාවවූ අමෘතයෙන් අභිෂෙක කරන ලද්දේ වෙමි.

‘ස්වාමීනි, කොපමණකින් වනාහි ලෙඩවූ කය ඇත්තෙක් සහ ලෙඩවූ සිත ඇත්තෙක් වන්නේද, කොපමණකින් වනාහි ලෙඩවූ කය ඇත්තෙක්ව ලෙඩ නොවූ සිත ඇත්තෙක් වන්නේ දැයි’ මත්තෙහි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීමට නොවැටහුණෙහිද?”

“ස්වාමීනි, අපි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ සමීපයෙහිදී මේ දේශනාවේ අර්ථය දැන ගැනීමට දුර සිට එන්නෙමු.” මේ දේශනාවේ අර්ථය ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේටම වැටහෙන්නේ නම් මැනවි.”

“එසේනම් ගහපතිය, අසව, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමි”යි වදාළේය. “ස්වාමීනි, එසේයයි.” නකුල පිතු ගහපතිතෙමේ ආයුෂ්මත්වූ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්නේය.

ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළේය. “ගහපතිය, කෙසේනම් ලෙඩවූ කය ඇත්තෙක්ව ලෙඩවූ සිත ඇත්තෙක් වන්නේද?”

“ගහපතිය, මේ ලොකයෙහි ආර්‍ය්‍යයන් නොදක්නාවූ ආර්‍ය්‍යධර්මයෙහි අදක්ෂවූ ආර්‍ය්‍යධර්මයෙහි නොහික්මුනාවූ සත් පුරුෂයන් නොදක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ, සත් පුරුෂ ධර්මයෙහි නොහික්මුණාවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙමේ රූපය ආත්මය (තමා) වශයෙන් දකියිද? රූපවත්හු (රූපය ඇත්තාහු) තමා කොට හෝ දකියිද? රූපය තමා කෙරෙහි ඇතැයි කියා හෝ දකියිද? රූපයෙහි ආත්මය (තමා) හෝ ඇත කියා හෝ දකියිද? රූපය මම වෙමි. මගේ රූපය වේයයි තණ්හා දිට්ඨි දෙකින් මඩනා ලද්දේ වෙයිද, රූපය මම වෙමි. මගේ රූපයයි තණ්හා දිට්ඨි දෙකින් මඩනා ලද, ඔහුගේ ඒ රූපය වෙනස් වෙයිද, අන් ආකාරයකට පෙරළෙයිද, රූපයාගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරලීම හේතුකොට ගෙන ඔහුට ශොකය, පරිදේවය, දුක්ය, දොමනස්සය, උපායාසය යන මොවුහු උපදිත්.”

“වේදනාව ආත්මය වශයෙන් දකියිද, වේදනාව ඇත්තහු ආත්මයකොට හෝ දකියිද, ආත්මය (තමා) කෙරෙහි වේදනාව ඇතැයි කියා හෝ වේදනාව කෙරෙහි ආත්මය ඇතැයි කියා හෝ දකියිද, මම වේදනාව වෙමි. මගේ වේදනාවයයි තණ්හා දිට්ඨි දෙකින් මඩනා ලද්දේ වෙයිද, මම වේදනාව වෙමි, මගේ වේදනාවයයි මඩනා ලද්දාවූ ඔහුගේ ඒ වේදනාව වෙනසට පැමිණෙයිද, අන් ආකාරයකට පැමිණෙයිද වේදනාවගේ වෙනස්වීම අන් ආකාරයකට පැමිණීම යන මෙය හේතුකොටගෙන ඔහුට ශොකය, පරිදෙවය, දුක්ය, දොම්නසය, උපායාසය යන මොවුහු උපදිත්.

“සංඥාව ආත්මය වශයෙන් දකියිද, සංඥාවත්හු ආත්මය කොට හෝ දකියිද, සංඥාව ආත්මය කෙරෙහි ඇතැයි කියා හෝ දකියිද, සංඥාවෙහි ආත්මය ඇතැයි කියා හෝ දකියිද, මම සංඥාව වෙමි. සංඥාව මගේයයි මඩනා ලද්දේ හෝ වෙයිද, මම සංඥාව වෙමි. මගේ සංඥාවයයි මඩනා ලද්දාවූ ඔහුගේ ඒ සංඥාව වෙනසට පැමිණෙයිද, අන් ආකාරයකට පැමිණෙයිද, සංඥාවගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම හේතුකොටගෙන ඕහට ශොකය, පරිදෙවය, දුක්ඛය, දොම්නසය, උපායාසය යන මොවුහු උපදිත්.

“සංස්කාරයන් ආත්මය වශයෙන් හෝ දකියිද, සංස්කාරවත්හු ආත්මයකොට හෝ දකියිද, ආත්මය කෙරෙහි සංස්කාරයන් ඇත කියා හෝ දකියිද, සංස්කාරයන්හි ආත්මය ඇතැයි කියා හෝ දකියිද, සංස්කාරයෝ මම වෙමි මාගේ සංස්කාරයෝයයි මඩනාලද්දේ වෙයිද, සංස්කාර මම වෙමි. මගේ සංස්කාරයෝයයි මඩනා ලද්දාවූ ඔහුගේ ඒ සංස්කාරයෝ වෙනසට පැමිණෙත්ද, අන් ආකාරයකට පෙරළෙත්ද, සංස්කාරයන්ගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම හේතුකොටගෙන ඔහුට ශොකය, පරිදෙවය, දුක්ය, දොම්නසය, උපායාසය යන මොවුහු උපදිත්.

“විඤ්ඤාණය ආත්මය වශයෙන් හෝ දකියිද, විඤ්ඤාණවත්හු ආත්මයකොට හෝ දකියිද, ආත්මය කෙරෙහි විඤ්ඤාණය ඇත කියා හෝ දකියිද, විඤ්ඤාණය කෙරෙහි ආත්මය ඇත කියා හෝ දකියිද, විඤ්ඤාණය මම වෙමි. මගේ විඤ්ඤාණයයි මඩනා ලද්දේ වෙයිද, මම විඤ්ඤාණය වෙමි. මගේ විඤ්ඤාණයයි මඩනා ලද්දාවූ ඔහුගේ ඒ විඤ්ඤාණය වෙනසට පැමිණෙයිද, අන් ආකාරයකට පෙරළෙයිද, විඤ්ඤාණයාගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම හේතු කොටගෙන, ඔහුට ශොකය, පරිදෙවය, දුක්ඛය, දොම්නසය, උපායාසය යන මොවුහු උපදිත්.

“ගෘහපතිය, මෙසේ වනාහි ලෙඩවූ කය ඇත්තේද, ලෙඩවූ සිත ඇත්තේද වෙයි.”

“ගහපතිය, කෙසේ නම් ලෙඩවූ කය ඇත්තේ ලෙඩ නොවූ සිත් ඇත්තෙක් වන්නේද, ගහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් දක්නාවූ ආර්‍ය්‍යධර්මයෙහි දක්ෂවූ, ආර්‍ය්‍යධර්මයෙහි හික්මුනාවූ, සත්පුරුෂයන් දක්නාවූ. සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුනාවූ, ශ්‍රැතවත් (ඇසූ පිරූ තැන් ඇති) ආර්‍ය්‍යශ්‍රාවකතෙම රූපය ආත්මය වශයෙන් නොමදකියිද, රූපවත්හු ආත්මය කොට හෝ නොමදකියිද, ආත්මය කෙරෙහි රූපය ඇතැයි හෝ නොමදකියිද, රූපය කෙරෙහි ආත්මය ඇතැයි හෝ නොමදකියිද, “රූපය මම වෙමි. මගේ රූපය”යි මඩනා ලද්දේ නොවේද, රූපය මම වෙමි මාගේ රූපයයි නොමඩනා ලද්දාවූ ඔහුගේ ඒ රූපය වෙනසට පැමිණෙයිද, අන් ආකාරයකට පෙරළෙයිද, රූපයාගේ වෙනස්වීමෙන් අන් ආකාරයකට පෙරළීමෙන් ඔහුට ශොකය, පරිදෙවය, දුක්ය, දොම්නසය, උපායාසය යන මොවුහු නූපදිත්.

“වේදනාව ආත්මය වශයෙන් හෝ නොමදකියිද, වේදනාවත්හු ආත්මය කොට හෝ නොමදකියිද, ආත්මය කෙරෙහි හෝ වේදනාව ඇතැයි හෝ නොමදකියිද, වේදනාව කෙරෙහි ආත්මය ඇතැයි හෝ නොමදකියිද, වේදනාව මම වෙමි. මගේ වේදනාවයයි නොමඩනා ලද්දේ වෙයිද, වේදනාව මම වෙමි, මගේ වේදනාවයයි නොමඩනා ලද්දාවූ ඔහුගේ ඒ වේදනාව වෙනසට පැමිණෙයිද, අන් ආකාරයට පෙරළෙයිද, වේදනාවගේ වෙනසට පැමිණීමෙන් හා අන් ආකාරයට පෙරළීමෙන් ඔහුට ශොකය, පරිදෙවය, දුක්ය, දොම්නසය, උපායාසය යන මොවුහු නූපදිත්.

“සංඥාව ආත්මය වශයෙන් නොමදකියිද, සංඥාවත්හු ආත්මය කොට හෝ නොමදකියිද, ආත්මය කෙරෙහි සංඥාව ඇතැයි හෝ නොමදකියිද, සංඥාව කෙරෙහි ආත්මය ඇතැයි හෝ නොමදකියිද, “සංඥාව මම වෙමි මගේ සංඥාවය”යි නොමඩනා ලද්දේ වෙයිද, සංඥාව මම වෙමියි මගේ සංඥාවයයි නොමඩනා ලද්දාවූ ඔහුගේ ඒ සංඥාව වෙනසට පැමිණෙයිද, අන් ආකාරයට පෙරළෙයිද, සංඥාවගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම හේතුකොටගෙන ශොකය, පරිදෙවය, දුක්ඛය, දොම්නසය, උපායාසය යන මොවුහු නූපදිත්.

“සංස්කාරයන් ආත්මය වශයෙන් නොමදකියිද, සංස්කාරවත්හු ආත්මය කොට හෝ නොමදකියිද, ආත්මය කෙරෙහි සංස්කාරයන් ඇතැයි හෝ දකියිද, සංස්කාරයන් කෙරෙහි ආත්මය ඇතැයි හෝ නොමදකියිද, “සංස්කාරයෝ මම වෙමි, මගේ සංස්කාරයෝයයි මඩනා ලද්දේ නොවෙයිද, සංස්කාරයෝ මම වෙමි, මගේ සංස්කාරයෝයයි නොමඩනා ලද්දාවූ ඔහුගේ ඒ සංස්කාරයෝ වෙනසට පැමිණෙත්ද, අන් ආකාරයට පෙරළෙත්ද, සංස්කාරයන්ගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම යන මෙයින් ඔහුට ශොකය, පරිදෙවය, දුක්ඛය, දොම්නසය, උපායාසය යන මොවුහු නූපදිත්.

‘විඤ්ඤාණය ආත්මය වශයෙන් නොමදකියිද, විඤ්ඤාණවත්හු ආත්මය කොට හෝ නොමදකියිද, ආත්මය කෙරෙහි විඤ්ඤාණය ඇතැයි හෝ නොමදකියිද, විඤ්ඤාණය කෙරෙහි ආත්මය ඇතැයි හෝ නොමදකියිද, විඤ්ඤාණය මම වෙමි. මගේ විඤ්ඤාණයයි මඩනා ලද්දේ නොවේද, විඤ්ඤාණය මම වෙමි. මගේ විඤ්ඤාණයයි නොමඩනා ලද්දාවූ ඔහුගේ ඒ විඤ්ඤාණය වෙනසට පැමිණෙයිද, අන් ආකාරයට පෙරළෙයිද විඤ්ඤාණයාගේ වෙනස්වීම අන් ආකාරයට පෙරළීම හේතු කොටගෙන ඔහුට ශොකය, පරිදෙවය, දුක්ය, දොම්නසය, උපායාසය යන මොවුහු නූපදිත්.

“ගහපතිය, මෙසේ වනාහි ලෙඩවූ කය ඇත්තේද, ලෙඩවූ සිත නැත්තේද වෙයි. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇත්තාවූ නකුල පිතු ගහපති තෙමේ ආයුෂ්මත්වූ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනයට සතුටු වූයේය.

(පළමුවෙනි නකුල පිතු සූත්‍රය නිමි.)