සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

11. අන්ත වර්ගය

1. අන්ත සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.

“මහණෙනි, අන්ත (කොටස්) සතරකි. කවර සතරක්ද යත්? තමා යන කොටසය. තමා ඇතිවීමේ හේතුව යන කොටසය. තමා නැති කිරීම යන කොටසය. තමා නැතිකිරීමේ මාර්ගය යන කොටසය යන මොහුයි.

“මහණෙනි, තමා යන කොටස කවරේද? ඊට උපාදානස්කන්ධ පසයයි කිය යුතුය. කවර පසක්ද? එනම් රූපඋපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යනුයි. මහණෙනි, මේ තමා යන කොටසයි.

“මහණෙනි, තමා ඇතිවීමේ හේතුව යන කොටස කවරේද? නැවත නැවත ඉපදීම ගෙන දෙන්නාවූ ඇලීමෙන් යුක්තවූ, අරමුණෙහි ඇලෙන්නාවූ යම්සේ තෘෂ්ණාවක් වේද, එනම් කාම තෘෂ්ණාවය, භව තෘෂ්ණාවය, විභව තෘෂ්ණාවය යනුයි. මහණෙනි, මේ තමා ඇති කිරීමේ හේතුවය යන කොටසයි.

“මහණෙනි, තමා නැති කිරීම යන කොටස කවරේද? ඒ තෘෂ්ණාවගේ යම් මුළුමනින් දුරු කිරීමක්, නැති කිරීමක්, අත්හැරීමක්, දුරලීමක්, මිදීමක්, නො ඇල්මක් වේද, මහණෙනි, මේ තමා නැති කිරීම යන කොටසයි.

“මහණෙනි, මේ තමා නැතිකිරීමේ මාර්ගය යන කොටස කවරේද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමැයි. ඒ කෙසේද යත්, සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාවය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මොහුයි. මහණෙනි, මේ තමා නැති කිරීමේ මාර්ගය යන කොටසයි. මහණෙනි, මේ කොටස් සතරය.”

(පළමුවෙනි අන්ත සූත්‍රය නිමි.)