සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

11. අන්ත වර්ගය

3. සක්කාය සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි’යි කියා භික්ෂූන්ට කථා කළ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, තමාද තමා ඇතිවීමේ හේතුවද, තමා නැති කිරීමද, තමා නැති කිරීමේ මාර්ගයද, දෙශනා කරන්නෙමි. එය අසව්.

“මහණෙනි, තමා කවරේද?” “පංච උපාදානස්කන්ධයයි කියයුතුය.” “කවර පසක්ද?” “එනම් රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය, යනුයි මහණෙනි, මේ තමායයි කියනු ලැබේ.”

“මහණෙනි, තමා ඇතිවීමේ හේතුව කවරේද?” “නැවත නැවත ඉපදීම ඇති කරන්නාවූ ඇලීමෙන් යුක්තවූ ඒ ඒ අරමුණෙහි ඇලෙන්නාවූ යම් ඒ තෘෂ්ණාවක් වේද, එනම් කාම තෘෂ්ණාවය, භව තෘෂ්ණාවය, විභව තෘෂ්ණාවය යනුයි.” මහණෙනි, මේ තමා ඇතිවීමේ හේතුවයයි කියනු ලැබේ.

“මහණෙනි, තමා නැති කිරීම කවරේද?” - “ඒ තෘෂ්ණාවගේ යම් මුළුමනින් නැති කිරීමක්, අතහැරීමක්, දුරලීමක්, මිදීමක් නො ඇල්මක් වේද, මහණෙනි, මේ තමා නැති කිරීමයයි කියනු ලැබේ.”

“මහණෙනි, තමා නැති කිරීමේ මාර්ගය කවරේද?”-“මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මැයි.” “ඒ කවරේද?” සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාවය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යනුයි.” මහණෙනි, මේ තමා නැති කිරීමේ මාර්ගයයි කියනු ලැබේ.