සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

11. අන්ත වර්ගය

5. සමණ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

‘මහණෙනි, උපාදානස්කන්ධ පසකි. කවර පසක්ද? එනම් රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යන මොව්හුය.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් මේ පස් උපාදානස්කන්ධයන්ගේ ආශ්වාදයද ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි නොදකිත්ද, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ මාගේ ශ්‍රමණයන් අතරෙහි ශ්‍රමණයයි සම්මත නොවූවාහුය. බ්‍රාහ්මණයන් අතරෙහි බ්‍රාහ්මණයයි සම්මත නොවූවාහුය. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ ඵලය හෝ බ්‍රාහ්මණ ඵලය හෝ මෙලොවදීම තෙමේම විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂව දැන ඊට පැමිණ වාසය නොකරත්.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ පස් උපාදානස්කන්ධයන්ගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි දකිත්ද, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ මාගේ ශ්‍රමණයන් අතරෙහි ශ්‍රමණයයි සම්මත වූවාහුය. මාගේ බ්‍රාහ්මණයන් අතරෙහි බ්‍රාහ්මණයයි සම්මතවූවාහුය. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ අර්ථය හෝ බ්‍රාහ්මණ අර්ථය හෝ මෙලොවදීම දනිත්ද තෙමේම විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂව ඊට පැමිණ වාසය කරත්.

(පස්වෙනි, සමණ සූත්‍රය නිමි.)