සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

12. ධර්මකථික වර්ගය

11. සුතවා සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ හා ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේද මිගදාය නම්වූ ඉසිපතනයෙහි වාසය කරත්. එකල්හි ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේකයෙන් නැගී සිටියේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු එළවන

කථා කළසේක. සතුටුවිය යුතු සිහිකටයුතු කථා අවසන්කොට එකත්පසෙක හිඳගත්හ. එකත්පසක හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ.

“ඇවත් ශාරිපුත්‍රයෙනි, ශ්‍රැතවත්වූ භික්ෂුව විසින් කවර ධර්මයෝ නුවණින් මෙනෙහි කටයුත්තාහුද?”

“ආයුෂ්මත් කොට්ඨිතයෙනි, ශ්‍රැතවත්වූ භික්ෂුව විසින් පංච උපාදානස්කන්ධයෝ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් පීඩාවක් වශයෙන් ආබාධ වශයෙන් අනුන් අයත් වූවක් වශයෙන් බිඳෙන්නක් වශයෙන් සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කටයුත්තාහ. කවර පසක්ද එනම්, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යනුයි. ඇවැත් කොට්ඨිතයෙනි, ශ්‍රැතවත්වූ භික්ෂුව විසින් මේ පස් උපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් පීඩාවක් වශයෙන් ආබාධ වශයෙන් අනුන් අයත්වූවක් වශයෙන් බිඳෙන්නක් වශයෙන් සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කළ යුතුයි. මේ පංච උපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් පීඩාවක් වශයෙන් ආබාධ වශයෙන් අනුන් අයත් වූවක් වශයෙන් බිඳෙන්නක් වශයෙන් සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කරන්නාවූ ශ්‍රැතවත් භික්ෂුව සොතාපත්ති ඵලය ප්‍රත්‍යක්ෂකරන්නේය. සකෘදාගාමි ඵලය ප්‍රත්‍යක්ෂකරන්නේය. අනාගාමි ඵලය ප්‍රත්‍යක්ෂකරන්නේය. අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කරන්නේය යන යමක් වේද, ඊට හෙතු ඇත්තේය.

“ඇවැත් ශාරිපුත්‍රයෙනි, රහත්වූවාහු විසින් කවර ධර්මයෝ නුවණින් මෙනෙහි කටයුත්තාහුද? රහත්වූවහු විසින්ද මේ පස් උපාදානස්කන්ධයෝ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් පීඩාවක් වශයෙන් ආබාධ වශයෙන් අනුන් අයත් වූවක් වශයෙන් බිඳෙන්නක් වශයෙන් සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කටයුත්තාහ. ඇවැත්නි, රහත්හු විසින් මත්තෙහි කළ යුත්තක් හෝ කරණ ලද දැයෙහි නැවත කිරීමක් හෝ නැති. එහෙත් භාවිතා කරණ ලද්දාවූ පුරුදු කරණ ලද්දාවූ මේ ධර්මයෝ මේ ආත්මයෙහි සැපවිහරණය පිණිසද සිහිය හා නුවණ පිණිසද පවතිත්.

(එකොලොස්වෙනි සුතවා සූත්‍රය නිමි.)