සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

12. ධර්මකථික වර්ගය

12. කප්ප සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් කප්ප ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසක හිඳගත්තේය. එකත් පසක හිඳගත් ආයුෂ්මත් කප්ප ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය.

“ස්වාමීනි, කෙසේ දන්නාවූ කෙසේ දක්නාවූ භික්ෂුවට විඤ්ඤාණය සහිතවූ මේ කයෙහිද බාහිරවූ සියලු ආරම්මණයන්හිද මමය මාගේයයි ගන්නාවූ දෘෂ්ටි මානානුසයෝ නොවන්නාහුද?” කියායි.

“කප්පය, අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි රූපයක් වේද ඒ සියලු රූපය එය මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේයයි යහපත් නුවණින් දකියිද, අතීතවූද අනාගතවූද දැන් පවතින්නාවූද අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි වේදනාවක් වෙයිද, ඒ සියලු වේදනාව එය මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේයයි යහපත් නුවණින් දකියිද,

“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි සංඥාවක් වෙයිද, ඒ සියලු සංඥාව එය මගේ නොවේ. මම නොවෙමි. මගේ ආත්මය නොවේයයි යහපත් නුවණින් දකියිද,

“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි සංස්කාරයක් වෙයිද, ඒ සියලු සංස්කාරය එය මගේ නොවේ. මම නොවෙමි. මගේ ආත්මය නොවේයයි යහපත් නුවණින් දකියිද,

“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි විඥානයක් වේද, ඒ සියලු විඤ්ඤාණය එය මගේ නොවේ. මම නොවෙමි. මගේ ආත්මය නොවේයයි යහපත් නුවණින් දකියිද, කප්පය, මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ, මහණහට විඤ්ඤාණය සහිතවූ මේ කයෙහිද පිටත් සියලු ආරම්මණයන්හිද, අහංකාරය, මමත්වය (මාගේයයි සිතීම) සහ මානය යන කෙලෙස් ඇති නොවෙත්යයි වදාළේය.

(දොළොස්වෙනි කප්ප සූත්‍රය නිමි.)