සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

13. අවිජ්ජා වර්ගය

1. සමුදය ධම්ම සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ, ඒ මහණතෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය.

“ස්වාමීනි, අවිද්‍යාව අවිද්‍යාවයයි කියනු ලැබේ. ස්වාමීනි, අවිද්‍යාව යනු කවරේද? කොපමණකින් අවිද්‍යාවට පැමිණියේ වේද? යනුයි.

“මහණ, මේ සාසනයෙහි ඇසූ පිරූ තැන් නැති පෘථග්ජනතෙමේ හටගැනීම ස්වභාවකොට ඇති, රූපය හටගැනීම ස්වභාවකොට ඇති, රූපයයි තත්වූ පරිදි නොදනියිද, නැතිවීම ස්වභාවකොට ඇති රූපය නැතිවීම ස්වභාවකොට ඇති රූපයයි තත්වූ පරිදි නොදනියිද, හටගැනීම හා විනාශවීම ස්වභාවකොට ඇති රූපය, හටගැනීම හා විනාශවීම ස්වභාවකොට ඇති රූපයයි තත්වූ පරිදි නොදනියිද,

“හටගැනීම ස්වභාවකොට ඇති වේදනාව හටගැනීම ස්වභාවකොට ඇති වේදනාවයයි තත්වූ පරිදි නොදනියිද, නැතිවීම ස්වභාවකොට ඇති වේදනාව නැතිවීම ස්වභාවකොට ඇති වේදනාවයයි තත්වූ පරිදි නොදනියිද හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති වේදනාව හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති වේදනාවයයි තත්වූ පරිදි නොදනියිද,

“හටගැනීම ස්වභාවකොට ඇති සංඥාව හටගැනීම ස්වභාවකොට ඇති සංඥාවයයි තත්වූ පරිදි නොදනියිද, නැතිවීම ස්වභාවකොට ඇති සංඥාව නැතිවීම ස්වභාවකොට ඇති සංඥාවයයි තත්වූ පරිදි නොදනියිද, හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති සංඥාව හටගැනීම හා නැතිවීම ස්වභාව කොට ඇති සංඥාවයයි තත්වූ පරිදි නොදනියිද,

“හටගැනීම ස්වභාවකොට ඇති සංස්කාරයන් හටගැනීම ස්වභාවකොට ඇති සංස්කාරයන් යයි තත්වූ පරිදි නොදනියිද, නැතිවීම ස්වභාවකොට ඇති සංස්කාරයන් නැතිවීම ස්වභාව කොට ඇති සංස්කාරයන්යයි තත්වූ පරිදි නොදනියිද, හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති සංස්කාරයන් හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති සංස්කාරයන්යයි තත්වූ පරිදි නොදනියිද,

“හටගැනීම ස්වභාවකොට ඇති විඥානය හටගැනීම ස්වභාවකොට ඇති විඥානයයි තත්වූ පරිදි නොදනියිද, නැතිවීම ස්වභාවකොට ඇති විඥානය නැතිවීම ස්වභාවකොට ඇති විඥානයයි තත්වූ පරිදි නොදනියිද, හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති විඥානය හටගැනීම හා නැතිවීම ස්වභාව කොට ඇති විඥානයයි තත්වූ පරිදි නොදනියිද, මහණ මේ අවිද්‍යාවයයි කියනු ලැබේ. මෙපමණකින්ම අවිද්‍යාවට පැමිණියේ වේයයිද කියනු ලැබේ.

“මෙසේ වදාළ කල්හි ඒ භික්ෂුතෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය වදාළසේක. ‘ස්වාමීනි, විද්‍යාව විද්‍යාවයයි කියනු ලැබේ. ස්වාමීනි විද්‍යාව යනු කවරේද? කොපමණකින් විද්‍යාවට පැමිණියේ වේද?” යනුයි.

“මහණ, මේ ශාසනයෙහි ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකතෙමේ හටගැනීම ස්වභාවකොට ඇති රූපය හටගැනීම ස්වභාවකොට ඇති රූපයයි තත්වූ පරිදි දනියිද, නැතිවීම ස්වභාවකොට ඇති රූපය නැතිවීම ස්වභාවකොට ඇති රූපයයි තත්වූ පරිදි දනියිද, හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති රූපය හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති රූපයයි තත්වූ පරිදි දනියිද,

“හටගැනීම ස්වභාවකොට ඇති වේදනාව හටගැනීම ස්වභාවකොට ඇති වේදනාවයයි තත්වූ පරිදි දනියිද, නැතිවීම ස්වභාවකොට ඇති වේදනාව නැතිවීම ස්වභාවකොට ඇති වේදනාවයයි තත්වූ පරිදි දනියිද, හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති වේදනාව හටගැනීම හා නැතිවීම ස්වභාව කොට ඇති වේදනාවයයි තත්වූ පරිදි දනියිද,

“හටගැනීම ස්වභාවකොට ඇති සංඥාව හටගැනීම ස්වභාවකොට ඇති සංඥාවයයි තත්වූ පරිදි දනියිද, නැතිවීම ස්වභාවකොට ඇති සංඥාව නැතිවීම ස්වභාවකොට ඇති සංඥාවයයි තත්වූ පරිදි දනියිද, හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති සංඥාව හටගැනීම හා නැතිවීම ස්වභාව කොට ඇති සංඥාවයයි තත්වූ පරිදි දනියිද,

“හටගැනීම ස්වභාවකොට ඇති සංස්කාරයන් හටගැනීම ස්වභාවකොට ඇති සංස්කාරයන්යයි තත්වූ පරිදි දනියිද නැතිවීම ස්වභාවකොට ඇති සංස්කාරයන් නැතිවීම ස්වභාව කොට ඇති සංස්කාරයන්යයි තත්වූ පරිදි දනියිද, හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති සංස්කාරයන් හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති සංස්කාරයන්යයි තත්වූ පරිදි දනියිද,

“හටගැනීම ස්වභාවකොට ඇති විඥානය හටගැනීම ස්වභාවකොට ඇති විඥානයයි ඇතිසැටි දනියිද, නැතිවීම ස්වභාවකොට ඇති විඥානය නැතිවීම ස්වභාවකොට ඇති විඥානයයි ඇති සැටි දනියිද, ඇතිවීම සහ නැතිවීම ස්වභාව කොට ඇති විඤ්ඤාණය ඇතිවීම සහ නැතිවීම ස්වභාවකොට ඇති විඤ්ඤාණයයි ඇති සැටි දනියිද, මහණ, මේ විද්‍යාවයයි කියනු ලැබේ. මෙපමණකින්ම විද්‍යාවට පැමිණියේද වෙයි.

(පළමුවෙනි සමුදය ධම්ම සූත්‍රය නිමි.)