සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

14. කුක්කුල වර්ගය

11. කුලපුත්ත සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, ශ්‍රද්ධාවෙන් මහණවූ කුලපුත්‍රයාගේ ස්වභාවය මෙයවේ. යමෙක් රූපයෙහි කළකිරීම බහුලකොට වාසය කරන්නේද, වේදනාවෙහි කළකිරීම බහුලකොට වාසය කරන්නේද, සංඥාවෙහි කළකිරීම බහුලකොට වාසය කරන්නේද, සංස්කාරයන්හි කළකිරීම බහුලකොට වාසය කරන්නේද, විඥානයෙහි කළකිරීම බහුලකොට වාසය කරන්නේද?

“හෙතෙම රූපයෙහි කළකිරීම බහුලකොට වාසය කරන්නේ, වේදනාවෙහි කළකිරීම බහුලකොට වාසය කරන්නේ, සංඥාවෙහි කළකිරීම බහුලකොට වාසය කරන්නේ, සංස්කාරයන්හි කළකිරීම බහුලකොට වාසය කරන්නේ, විඤ්ඤාණයෙහි කළකිරීම බහුලකොට වාසය කරන්නේ,

“රූපය විශෙෂයෙන් දැනගනියි. වේදනාව විශෙෂයෙන් දැනගනියි. සංඥාව විශෙෂයෙන් දැනගනියි. සංස්කාරයන් විශෙෂයෙන් දැනගනියි. විඤ්ඤාණය විශෙෂයෙන් දැනගනියි.

“හෙතෙම රූපය විශෙෂයෙන් දැනගන්නේ, වේදනාව විශෙෂයෙන් දැනගන්නේ, සංඥාව විශෙෂයෙන් දැනගන්නේ, සංස්කාරයන් විශෙෂයෙන් දැනගන්නේ, විඤ්ඤාණය විශෙෂයෙන් දැනගන්නේ,

“රූපයෙන් විශෙෂයෙන් මිදෙයි. වේදනාවෙන් විශෙෂයෙන් මිදෙයි. සංඥාවෙන් විශෙෂයෙන් මිදෙයි. සංස්කාරයන්ගෙන් විශෙෂයෙන් මිදෙයි. විඤ්ඤාණයෙන් විශෙෂයෙන් මිදෙයි. ඉපදීමෙන්, ජරාමරණයෙන්, සෝකයෙන්, හැඬීමෙන් දුක් දොම්නස් වලින්, වැලපීමෙන් විශෙෂයෙන් මිදෙයි. දුකින් විශෙෂයෙන් මිදේයයිද කියමි.”

(නවවෙනි කුලපුත්ත සූත්‍රය නිමි.)