සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

14. කුක්කුල වර්ගය

12. කුලපුත්ත සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, ශ්‍රද්ධාවෙන් මහණවූ කුලපුත්‍රයාගේ ස්වභාවය මෙයවේ. යමෙක් රූපයෙහි අනිත්‍යය අනුව, බලනසුලුව වාසය කෙරේද, වේදනාවෙහි අනිත්‍යය අනුව, බලනසුලුව වාසය කෙරේද, සංඥාවෙහි අනිත්‍යය අනුව, බලනසුලුව වාසය කෙරේද, සංස්කාරයන්හි අනිත්‍යය අනුව, බලනසුලුව වාසය කෙරේද, විඤ්ඤාණයෙහි අනිත්‍යය අනුව, බලනසුළුව වාසය කෙරේද?

“හෙතෙම රූපයෙහි අනිත්‍යය අනුව බලනසුලුව වාසය කරන්නේ, වේදනාවෙහි අනිත්‍යය අනුව, බලනසුලුව වාසය කරන්නේ, සංඥාවෙහි අනිත්‍යය අනුව බලනසුලුව වාසය කරන්නේ, සංස්කාරයන්හි අනිත්‍යය අනුව බලනසුලුව වාසය කරන්නේ, විඤ්ඤාණයෙහි අනිත්‍යය අනුව බලන සුලුව වාසය කරන්නේ.

“රූපය විශෙෂයෙන් දැනගනියි. වේදනාව විශෙෂයෙන් දැනගනියි. සංඥාව විශෙෂයෙන් දැනගනියි. සංස්කාරයන් විශෙෂයෙන් දැනගනියි. විඤ්ඤාණය විශෙෂයෙන් දැනගනියි.

“හෙතෙම රූපය විශෙෂයෙන් දැනගන්නේ, වේදනාව විශෙෂයෙන් දැනගන්නේ, සංඥාව විශෙෂයෙන් දැනගන්නේ, සංස්කාරයන් විශෙෂයෙන් දැනගන්නේ, විඤ්ඤාණය විශෙෂයෙන් දැනගන්නේ,

“රූපයෙන් මිදෙයි, වේදනාවෙන් මිදෙයි. සංඥාවෙන් මිදෙයි. සංස්කාරයන්ගෙන් මිදෙයි. විඥානයෙන් මිදෙයි ඉපදීමෙන්, ජරාමරණයෙන්, සෝකයෙන්, හැඬීමෙන්, දුක් දොම්නස් වලින්, වැලපීමෙන් මිදෙයි දුකින් මිදේයයි ද කියමි.”

දහවෙනි කුලපුත්ත සූත්‍රය නිමි.)