සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

15. දිට්ඨි වර්ගය

5. මිච්ඡාදිට්ඨි සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පිවිසි මිථ්‍යාදෘෂ්ටිය උපදීද?” - “ස්වාමීනි, ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පමුණු වන්නාකොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින් කියාදෙතොත් ඉතා හොඳය.

“මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පිවිස මිථ්‍යාදෘෂ්ටිය උපදියි.”

“වේදනාව ඇති කල්හි වේදනාව නිසා වේදනාවට පිවිස මිථ්‍යාදෘෂ්ටිය උපදියි.”

“සඤ්ඤාව ඇති කල්හි සඤ්ඤාව නිසා සඤ්ඤාවට පිවිස මිථ්‍යාදෘෂ්ටිය උපදියි.”

“සංස්කාරයන් ඇති කල්හි සංස්කාරය නිසා සංස්කාරයට පිවිස මිථ්‍යාදෘෂ්ටිය උපදියි.”

“විඤ්ඤාණය ඇති කල්හි විඤ්ඤාණය නිසා විඤ්ඤාණයට පිවිස මිථ්‍යාදෘෂ්ටිය උපදියි.”

“මහණෙනි, ඒ කුමක්කැයි සිතන්නාහුද? රූපය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකයි.” “යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් මිථ්‍යාදෘෂ්ටිය උපදනේද?” - “ස්වාමීනි, එය නොවේමය.”

“වේදනාව නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකයි.” “යමක් අනිත්‍යද? දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් මිථ්‍යාදෘෂ්ටිය උපදනේද” - “ස්වාමීනි, එය නොවේමය.”

“සංඥාව නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකයි.” “යමක් අනිත්‍යද? දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් මිථ්‍යාදෘෂ්ටිය උපදනේද?” - “ස්වාමීනි, එය නොවේමය.”

සංස්කාරය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකයි.” “යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් මිථ්‍යාදෘෂ්ටිය උපදනේද?” - “ස්වාමීනි, එය නොවේමය.”

“විඤ්ඤාණය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.” “යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද එය තදින් අල්ලා නොගැනීමෙන් මිථ්‍යාදෘෂ්ටිය උපදනේද?” - “ස්වාමීනි, එය නොවේමය.”

මෙසේ දක්නේ රූපයෙහිද කළකිරෙයි. වේදනාවෙහිද කළකිරෙයි. සඤ්ඤාවෙහිද කළකිරෙයි. සංස්කාරයෙහිද කළකිරෙයි. විඤ්ඤාණයෙහිද කළකිරෙයි. කළකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේයයි නුවණ පහළවෙයි. ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැත්තේ යයි දැනගනියි.

(පස්වෙනි මිච්ඡාදිට්ඨි සූත්‍රය නිමි.)